අතිශය අභ්‍යන්තර පරීක්ෂණය

(වාර්ගික අර්බුදය ගැන ලියැවුණ දෙමළ කෙටිකතා )

©️පරිවර්තනය – ජෙගන් ගනේෂන්

සඳුන් ප්‍රියංකර විතානගේ

වාර්ගික අර්බුදය වඩාත් සංකීර්ණ වෙන්න, තීව්‍ර වෙන්න භාෂා ප්‍රශ්නය බරට බලපෑවා. බලපාමින්තිබෙනවා. ජාතීන් අතර දුරස් බව තවදුරටත් ඉදිරියට පවතින්න මේ භාෂා පවුර හේතුවක්. ඒවගේම දේවල් දිහා ඒකමානීය බලන්නත් හේතුවක්.

දමිළ ජනතාවගේ ජීවන අද්දැකීම් – විශේෂයෙන් ජනඝාතක යුද්ධයේ ඇති තතු කිසිම ලෙසකින් දකුණට පරාවර්තනය වූයේ නැහැ. විශේෂයෙන් ජනවාර්ගික ගැටලුව අරභයා දකුණේ නිමැවූ කෘති සෑහෙන බහුතරයක් ජාතිවාදය රණකාමය ඔජ වැඩූ ඒවා. සමහර සාධනීය මැදිහත්වීම් පවා දෘෂ්ටිවාදී අබ්බගාතකම් සහිතයි.

ඒ නිසාම දෙමළ-සිංහල භාෂා අභියෝගය ජයගත්, පරිවර්තන සාහිත්‍යයක අවශ්‍යතාව මෙරට නූතනත්ව කතිකාවට තිබෙනවා. විදෙස් සාහිත්‍ය කෘති පරිවර්තනය වීමේ සම්භාවිතාවෙන් මඳක්වත් දෙමළ සාහිත්‍ය – සිංහලට පෙරළා දැක්වීමට යෙදෙන්නේ නැහැ.

දකුණේ හමුදාව උත්කර්ෂයට ලක් කළ රණකාමී ප්‍රචාරකවාදී රචනා හැරෙන්නට උතුරේ ජනයාගේ පණ ගැහෙන ඇත්ත ජීවිතය දකුණට සම්ප්‍රේෂණය නොවුණු තරම්වන සන්දර්භයක ජෙගන් ගනේෂන්ගේ පරිවර්තන වෑයම සෑහෙන තරම් ඉදිරිගාමී එකක්.

මෙරට දෙමළ සහ මුස්ලිම් ජාතීන් සැබෑවටම මුහුණ දෙන බොහෝ ප්‍රශ්න මේ කෙටිකතා හරහා කලාත්මකව ප්‍රතිනිර්මාණය කරන්නට ඒ ඒ ලේඛකයන් බුහුටි වී තිබෙනවා. ජෙගන් ඒවාට සාධාරණය ඉටු කර ඇති බව ඔහුගේ සිංහල භාෂා භාවිතයේ සුමටකම් හරහා තහවුරු කරගන්න පුළුවන්.

මේ කෘතියේ නමින් ම එන අතිශය අභ්‍යන්තර පරීක්ෂණය නම් කෙටිකතාව ශෝභා ශක්ති නම් ලේඛකයා ලියූවක්. එය ඉතා විශිෂ්ට කෙටිකතාවක් බවට සැකයක් නෑ. ලේඛකයා යථාර්ථය විනිවිදිමින් කතාව පරිපාකයට පත් කරන අයුර විස්මය උපදවන තරම්. අශිෂ්ටත්වය – ප්‍රචණ්ඩත්වය පද්ධතිගතව ඇති බවත් සාමාන්‍යකරණය වී ඇති බවත් එතරම් මනහර ලෙස පෙන්වන නිර්මාණයක් මෑත කාලයේ කියවා නැහැ.

කඳු පිටුවහල් වන්නේ නැත – වැනි කතාවක වියමන ලගන්නාසුළු යි. ක්‍රිශාන්ති කුමාරස්වාමි ඝාතන සිදුවීම මූලික කරගෙන වෙනස් ආකෘතියකින් ලියැවුණ කතාව කතාබහට ලක්විය යුතු එකක්. උතුරට – දකුණට දෙකටම පොදු සේ ම සදහටම විසඳුමක් නොලැබ ඇති පුද්ගලයන් අතුරුදන් කිරීම ගැන ලියා ඇති අලියා නම් කතාව මගහැරිය නොහැකි එකක්. මුස්ලිම් ජන දිවිය කේන්ද්‍ර කරගෙන ලියා ඇති මේ බුදුන්ගේ දේශය යි කතාව කදිමට සිංහල සමාජයේ විරුද්ධාභාසයන් ප්‍රශ්න කරන්නේ සෝපහාසයක් මුවග දල්වාගෙන.

ජෙගන් පරිවර්තනය කරන්නට තෝරාගෙන තිබෙන සියලුම කෙටිකතා විශේෂයෙන් දකුණේ කියවන්නෙකුට වෙනස් චින්තන මානයන් විවර කර දෙන ඒවා. ඒ නමුත්, ඒ කතා අටෙන් හයක් ම වාර්ගික අර්බුදය හේතුවෙන් ම මෙරට හැරපියා ගොස් දිවි ගෙවන අයගේ නිර්මාණ. මේවායේ ඇත්තේ යම්බඳු ඩයස්පෝරාමය හැඩයක්. එනිසාමදෝ මේ කෙටිකතා අතරින් යම් බඳු වරදකාරී හැඟීමක් වහනය වනවා. නොරට නොගොසින් මෙරටම හිඳිමින් වඩාත් කටුක ජීවන අත්දැකීම්වලට මුහුණ දුන් දෙමළ ලේඛකයන්ගේ නිර්මාණත් මෙලෙසින් පෙරමුණට කැඳවීම අවශ්‍ය ම දෙයක්.

හදිසි ලිවීමක් ලෙසින් මේ කරුණු සටහන් කිරීමට උත්සුක වුණේ, මේ වැනි කෘතියක් අවධානයකින් තොරව නිහඬතාවයේ ගිලී මිය යෑම අවැඩක් වන නිසාවෙන්. වැඩි වැඩියෙන් පාඨකයන් වෙත සම්මුඛ විය යුතු කෘතියක් විදියට ජෙගන් ගනේෂන් පරිවර්තනය කරපු මේ පොත හඳුන්වන්නට පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles