2024 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ සිය දෙවැනි පුහුණු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව ලකුණු 41ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) සමත් වුනා.
තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් නෙදර්ලන්තය හමුවේ පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව නැවතත් සිය අලු ගසා දමමින් ඊයේ තරගයට අවතීර්ණ වූ අතර, තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ අයර්ලන්ත නායකයාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාව ඉනිම ආරම්භ කළා.
මෙහි දී ශ්‍රී ලංකාව එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, ඉනිමේ මුල් කඩුලු 4ම ලකුණු 63ක් තුළ බිඳ දැමීමට නෙදර්ලන්තයට හැකියාව ලැබුණා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ දී ද පිත්තෙන් සාර්ථක වූ නායක වනිඳු හසරංග පන්දු 21කින් ලකුණු 26ක් ලබා ගන්නා අතරේ, හිටපු නායක දසුන් පන්දු 15කින් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වුනා.
මීට අමතරව ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වූ අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ලකුණු 22කින් ඉනිමට දායක වුනා.
මේ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 163ක් ලබා ගැනීමට සමත් වූ අතර, අයර්ලන්තය වෙනුවෙන් Barry McCarthy සහ Josh Little කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා අයර්ලන්ත පිතිකරුවන් පිටියට පිවිසුණු අතර, අනෙක් පසින් පෙර තරගයේ දී පන්දු යැවීමෙන් විවේක ගන්වා තිබූ නායක වනිඳු, මහීෂ් සහ මතීෂ ද පන්දුව අතට ගත්තා.
එම පන්දු යැවීම් සමඟ අයර්ලන්ත පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීම කිසිදු අයුරකින් පහසු නොවූ අතර, ඔවුන්ගේ ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Curtis Campher ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වුනා.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දසුන් ශානක ලකුණු 23ක් ලබා දෙමින් කඩුලු 4ක් බිඳ හෙළූ අතර, ඊට අමතරව මහීෂ් තීක්ෂණ ද විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 14කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
මේ අතරේ මතීෂ පතිරණ ද ඉතා හොඳින් පන්දු යැවීමේ නිරත වූ නමුත්, වනිදුට නම් ඊයේ එතරම් ම සාර්ථක දිනයක් වුනේ නැහැ කෙසේ නමුත් ඔහු ද අයර්ලන්ත ඉනිමේ කඩුලු 2ක් බිඳ හෙළුවා.
- ශ්‍රී ලංකාව – 163/8 (20) ඇන්ජලෝ මැතිව්ස් 32, වනිඳු හසරංග 26, Barry McCarthy 2/31, Josh Little 2/45
- අයර්ලන්තය – 122/10 (18.2) Curtis Campher 26, දසුන් ශානක 4/23, මහීෂ් තීක්ෂණ 2/14, වනිඳු හසරංග 2/40
තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන සඳුදා (03) දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිතයි.