ධීරත්වය ගොඩ නැගූ ඩෙස්මන්ඩ් ටුටූ

කානේෂන් මල් විසුළ, ලාබ මිනීපෙට්ටියක වැතිරී අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ අවසන් ගමන් නික්මුණේ ය. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි දී පැවතුණු ඔහුගේ අවමංගල්‍යය පරිසර හිතකාමී ලෙස පවත්වන්නැයි නොබෙල් ත්‍යාගලාභී මේ කිතුණු පූජකවරයා ඉල්ලා තිබුණි. වසර 90ක් තරම් වයසක සිට දිවි ගමනින් සමුගත් ඩෙස්මන්ඩ් ටුටූගේ ජීවන භාවිතය ගැන සාකච්ඡාව ආගමිකය, රාජ්‍යය සහ උස් නිදහස ගැන බොහෝ සංවාද – සංලාප මතු කිරීමට ඉඩහසර සපයයි.

1930 අප්‍රිකාවේ ගම්බද පෙදෙසක ඉපිද ගුරුවරයෙක් ලෙස මුලින් කටයුතු කළ ටුටූ එවක දකුණු අප්‍රිකාවේ අධිරාජ්‍යවාදී පාලනය පාසල් වෙත කළ වාර්ගික මැදිහත්වීම නිසා ඉන් සමුගත්තේ ය. පසුව පූජකවරයෙකු ලෙස බැඳී විවිධ කඩඉම් පසුකරමින් කේප්ටවුන්හි අගරදගුරු පදවිය දක්වා පැමිණියේ ය. ලොව අතිශය ලැජ්ජාසහගත ලෙස මෑත කාලයක් වන තුරු පැවතුණු දකුණු අප්‍රිකාවේ අධිරාජ්‍යවාදී පාලනයට නිර්භය ලෙස අභියෝග කළ හෙතෙම පුරාවෘත්තයක් බඳු මිනිසෙකි.

කොන්දේසි විරහිතව ඔහු තමා අනුදත් මගෙහි යමින් කටයුතු කළේ ය. මූලිකව ම වර්ණභේදවාදය සහ දරිද්‍රතාවට එරෙහිව ක්‍රියාකිරීම ඔහුගේ ජීවන විලාසිතාව වූයේ ය. අවිහිංසාව අවිය කරගෙන සිටි හෙතෙම අප්‍රිකානු නිදහස් සටනේ දී තෝරාගත් ප්‍රචණ්ඩත්ව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවා මැන්ඩෙලා සමඟ එකඟ වූයේ නැත. එහෙත් මැන්ඩෙලා සහ ඔහු අතර වූ මිතුදම නොනැසුණේ ය.

ඩෙස්මන්ඩ් ටුටූ තවත් වැදගත් සනිටුහන් කරන්නේ, වර්ණභේදවාදයෙන් රට මුදාගත් පසු පත්වූ ස්වජාතික රෙජිමයන් සමඟ එකපතේ කන්නට නොයාම නිසාවෙනි. අප්‍රිකානු කලාපයේ බොහෝ පාලකයන්ගේ ක්‍රියාකලාපයන් ඔහුගේ සදය විවේචනයට ලක් විය. ලොව අනෙකුත් පීඩිත ජනකොටස් මුහුණ දෙන අයුක්තිසහගත සිදුවීම්වලදී ඔහු යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය. ඔහු ඊශ්‍රායලයේ කරන ලද සංචාරයේදී පළස්තීනුවන් කෙරෙහි කළ ප්‍රකාශය නිසා ඊශ්‍රායලයේ නොමනාපයට ලක් විය. ඔහු පළස්තීනුවන් අරභයා නැගුවේ ඉතිහාසගත වන පැනයකි. අතිශය දරුණු පීඩාවන් විඳි ජාතියක් වන යුදෙව්වන් – මෙලෙස පලස්තීනුවන්ට පීඩා කරන්නේ කෙළෙසදැයි ඔහු විමසී ය.

ස්ථාපිත ආගමිකය කවදත් පාහේ පාලක රෙජිමයන් කෙරෙහි එක්ව කටයුතු කරනු ලොව අමුත්තක් නොවේ. එහෙත් දෙන ලද සන්දර්භයකදී ධීරත්වයක් ගොඩ නගාගෙන අචලව පොදු මනුෂ්‍යත්වයේ අරමුණු කෙරෙහි නැමී කටයුතු කරන්නේ කෙළෙසකදැයි ඩෙස්මන්ඩ් ටුටූ ගෙන් උගත හැකි ය. විශේෂයෙන් ජනහතුරු පාලකයන්ට පිරිත් නූල් බැඳ ආශිංසනය කරන මහතෙරුන්ද, මැතිවරණවලදී රෙදි නැතිව ජනහතුරු දේශපාලුවන්ට කඩේ ගොස් ඇති පදම් නාගන්නා කාදිනල්ලාටද ඩෙස්මන්ඩ් ටුටූ පාඩමක් උගන්වයි. නිකම් නොවේ, කන්සෙට පහරක්ද එල්ල කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles