විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පණතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලිබල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
අද (19) දා කොළඹ 7 පිහිටි විදුලිබල හා බලශක්කි අමාත්‍යංශයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය කාංචන විජේසේකර එසේ පවසා තිබෙනවා.
නව විදුලිබල පනත පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙක්ට ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට යොමු කරන නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කරන බව කී අමාත්‍යවරයා පනත පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමට දුන් කාලයේ දී දේශපාලඥයන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් යන අය පමණක් යෝජනා යොමු කර තිබූ බව ද සඳහන් කර සිටියා.
නව පනතින් විදුලිබල ක්ෂේත්‍රය දේශපාලනීකරණය වී ඇතැයි කියන පාර්ශව කඩාකප්පල්කාරීන් බවත් දේශපාලන බලපෑම් ඉදිරියට ගෙන යෑමට නම් දැනට පවතින 2009 විදුලිබල පනත වඩාත් යෝග්‍ය බවත් ඔහු පැවසුවා.