රනිල්ගේ ආර්ථික බොරුව ජනතාව තේරුම් අරන්!

නුවන් හෙට්ටිආරච්චි

ජනපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්මාණය කළ බොරු ආර්ථිකය පිළිබඳව ජනතාව තේරුම් ගනිමින් තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

එසේ එම ආර්ථිකය රනිල් වික්‍රමසිංහ විසින් නිර්මාණය කර ඇත්තේ පසුගිය මාස 15ක් තිස්සේ විදේශ ණය නොගෙවා සිට ඩොලර් බිලියන 4.5ක් ඉතිරි කරමින් බවත් ඔහු පෙන්වා දෙනවා.

නාවලපිටියේ පසුගියදා (11)පැවති රැස්විමකදී මේ බව සදහන් කළ අනුර මෙසේ ද සඳහන් කළා.

බැරිවෙලාවත් ණය ගෙව්වා නම්, තෙල්, ගෑස්, කිරිපිටි කිසිම දෙයක් නැහැ. දැන් කිරිපිටි අලෙවිය 53%කින්, සීනි අලෙවිය 40%කින් අඩුවී අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් පවා නිර්මාණය වී තිබෙනවා. ඇඟලුම් කර්මාන්තය 28%කින් කඩා වැටී ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම විනාශ වී තිබෙනවා. අපේ රට සිංගප්පූරුවක්, මැලේසියාවක්, ආසියාවේ ආශ්චර්යයක් බවට පත්කරනවා කියලා ජනතාව ජීවත් වෙන්න බැරිව රට දාලා යන තැනට පත්කළා. මේ රටේ පාලකයන් හදපු බොරු ආර්ථිකය ගැන ජනතාව තේරුම් ගනිමින් වෙනසකට පෙළ ගැසෙමින් ඉන්නවා. ඒ වගේම පාලකයන්ට බයේ සිටි ජනතාව අයුක්තියට අසාධාරණයට එරෙහිව පාරට බැහැලා ලොකුම චණ්ඩියා හැටියට සිටි පාලකයන් පළවා හැරියා. ජනතාව අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටින මේ වෙලාවේ වෙනසක් සිද්ධ කරන්න බැරි නම් කවදාද ඒ වෙනස කරන්නේ?

හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, පරිපාලන සේවයේ නිලධාරීන්, හැමදෙනාම අපිත් සමග කතා කරනවා. යුනිෆෝම් එක ඇඳගෙන හරි මේ වෙනස සිදුකරන්න සහභාගී වෙන බව කියනවා. ඒ නිසා මේ වෙනස වළක්වන්න ඡන්දය නොතියා ඉන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා. ඡන්දයක් තිව්වොත් දිනන්නේ ජාතික ජන බලවේගය නිසා බයවී ඡන්දය කල්දමා තිබෙනවා. ජාතික ජන බලවේගය පාරට බැහැලා මේ ඡන්දය දිනාගන්න ලැහැස්තියි. ඡන්දය තියන්නේ නැති නිසා, ව්‍යවස්ථාව සංශෝධනය කර, ජනාධිපතිවරණයක් තියන බව ප්‍රචාරය කරනවා. මොන දහම් ගැට ගැහුවත්, මොන ප්‍රචාර යැව්වත් ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 17වැනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වන්න සිදුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles