ස්මාරක ශිලාවත (නඩුගල්)
දීපචෙල්වන්
පරිවර්තනය – ජී.ජී. සරත් ආනන්ද
කඩුල්ල ප්‍රකාශන
මිල රු.650/-
වාර්ගික අරගලයේ යුදමය සමාප්තියෙන් පසු උතුරේ දෙමළ ලේඛකයෙක් අතින් ලියැවුණු පළමු නවකතාව නඩුගල් හෙවත් සිංහලෙන් “ස්මාරක ශිලාවත”යි.
මෙම කෘතියේ රචකයා වන දීපචෙල්වන්ව ත්‍රස්ත මර්දන හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (CTID) කිලිනොච්චිය-පරන්තන් වෙත කැඳවා ඔහුගේ දෙවැනි නවකතාවේ (ත්‍රස්තවාදියා) එන ප්‍රබන්ධිත චරිතයක් සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර තිබෙන පසුබිමක මෙම සටහන උත්ප්‍රාසාත්මක ය.
උතුරේ සිදුවුණු වාර්ගික අරගලය සිංහල ඒකධ්‍රැවීය සිතීම් කලාපය සොලවා දමන එකක් බවට පත් කෙරුණු නිර්මාණ සුදුර්ලභ බව කිව යුතු ය. බොහෝ නිර්මාණ දෘෂ්ටිවාදී දුබලතා සහිතව, ඒකාකෘතික ස්ථාපිත දෘෂ්ටිවාදය ඔජවඩන ඒවා ම වූවා පමණකි.
ඒ අතර උතුරුකරයේ සාහිත්‍ය බිහිවෙමින් තිබේ. සිදුවීම් බහිෂ්කරණය නොකරමින්, යථාර්ථයට අභිමුඛ වෙමින් ලියන එම ලේඛන දකුණේ ගුවන් තොටිල්ල ගස්සන සුළු ඒවා වීම පුදුමයක් නොවේ. දැන් දෙමළ ඇසින් ම ඒ දෙස බලන්නට ඉඩකඩ විවර කිරීම ගැන පරිවර්තකයාට තුති පිදිය යුතු ය.
යුද්ධයට මැදි වුණු දරුවන් දෙදෙනෙකුගේ චිත්තවේගයන් ආශ්‍රයෙන් සමස්තය ගැන චිත්‍රයක් මැවීමට දීපචෙල්වන් වෑයම් කරයි. පියා විසින් අතහැර දැමූ පවුලක දරුවන්ට ආත්මීය-පෞද්ගලික ප්‍රශ්න අතර යුද්ධයෙන් බැට කෑමද එක් වූ විට නිර්මාණය වන්නේ ඛේදවාචකයකි.
දෙමළ අරගලය කුමක් වෙනුවෙන් ද? එම භූමියේ ඇත්ත ජීවිතය කෙබඳු වූයේ ද කියා නඩුගල් – ස්මාරක ශිලාවත අපට කියා දෙයි.
ස්මාරක ශිලාවත යනුවෙන් වචනයක් සිංහල බසෙහි මෙන් පෙර නොවූ විරූ ය. මතකය පිණිස ගලක් – ලෙස එය වර නගා ගත හැකි ය. මතකය පිණිස ගලක් කුමකට ද? තාක්ෂණික යුගයේ මතක ලෙස කොතරම් දේවල් තිබෙන්නේ ද? එහෙත් අරගලයක කොටස්කරුවන් වීම කරණ කොටගෙන සියලු ස්මරණයන් ඉතිහාසයෙන් මකා දැමීමට – ඡායාරූපයක් පවා විනාශ කර දැමීමට රාජ්‍යය ක්‍රියා කළ කල්හි ස්නේහය වෙනුවෙන් ගලක් සිහිවටන කොට තබා ගැනීම මොන තරම් උත්ප්‍රාසයක් දනවන්නේ ද?
මේ සටහනේ උදෘතයේ දැක්වෙන පරිදි මෙවැනි කතාවලින් සිංහල ස්වෝත්තමවාදයේ ගුවන් තොටිලි ගැස්සේ. මානුෂීය මෙහෙයුම් වැනි ව්‍යාජ වදන් තවරා දියත් කළ ප්‍රචණ්ඩත්වය වෙත නොලස් බැල්මක් කලාත්මක ලෙස හෙළා ඇති මෙවැනි කෘති වැඩි වැඩියෙන් සාහිත්‍ය සමාජය වෙත අවශ්‍ය කෙරෙයි.
සබුද්ධිකව යටපත් කරනට වෙර දරන සමූල ඝාතනයක, අරගල මර්දනයක ඉතිහාසයක් ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වීමට නඩුගල් හෙවත් ස්මාරක ශිලාවත සමත් වෙයි.
මෙම කෘතියෙහි නිරන්තරයෙන් මතු කෙරෙන කරුණක් තිබේ. ඒ මෙහි කථකයා සිය සටන්කාමී සොයුරාගේ ඡායාරූපයක් සොයා ගැනීමට ගන්නා වෑයම සහ එය සඵල නොවීමයි. සැබැවින් ම ඡායාරූප යනු කුමක් ද?
දෘශ්‍යාත්මක මානව විද්‍යාව සහ ශ්‍රී ලාංකේය මානවවංශලේඛ චිත්‍රපටය නම් න්‍යායික කෘතියක් රචනා කරන සුමින්ද කිත්සිරි ගුණරත්න 2017 වසරේදී සිළුමිණ පුවතපතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ පහත ඉපිටුම මේ සම්බන්ධයෙන් වැදගත් එකකි.
“නිරන්තරයෙන් වෙනස් වන සංස්කෘතිය තත්ත්වාකාරයෙන් නිරූපණය කිරීමට වචනවලට වඩා රූප පටිගත කිරීම ප්‍රබල වන බව ඔවුන් තේරුම් ගන්නවා. ඊට මුල් වන්නේ 1926 දී රොබට් බ්ලෙයාඩි විසින් එස්කිමෝවරු පිළිබඳව නිපදවන Nanook of the North කියන ලෝකයේ වාර්තා චිත්‍රපට ඉතිහාසයේ ප්‍රධානත්වයක් උසුලන චිත්‍රපටයයි. එහිදී මානව විද්‍යාඥයන් තේරුම් ගන්නවා මානව වංශකතාව හා මානව සංස්කෘතික ඉතිහාසය සංරක්ෂණය කිරීම උදෙසා කැමරාව කදිම උපකරණයක් වන බව. ඒ නිසා තමයි මාග්‍රට් නීඩ් මානව විද්‍යාඥවරිය පවසන්නේ, පෑන සහ පොත රැගෙන ක්ෂේත්‍රයට යන මානව විද්‍යාඥයා සාහසික අපරාධයක් සහ අතපසු කිරීමක් කරනවා කියලා. ඒ, කැමරාවක් භාවිත නොකරන නිසායි. ඇය විමසන්නේ, දුරේක්ෂය නිසා තාරකා විද්‍යාව දියුණු වෙනවා, අන්වීක්ෂය නිසා භෞතික විද්‍යාව දියුණු වෙනවා, එසේ නම් ඇයි කැමරාව මානව සංස්කෘතිය නිරීක්ෂණයට යොදා නොගන්නේ? කියලා.”
මානව විද්‍යාව නම් විෂය කෙරෙහි ඡායාරූපය සහ වීඩියෝවේ වැදගත්කම මෙයින් පැහැදිලි වෙයි. ස්මාරක ශිලාවතෙහි සටන්කාමී සොයුරාගේ සේයාරුවක් සොයනා බාල සොයුරා සහ මව ආත්මීය වුවමනාවක් – තම ප්‍රියයාගේ රුව දැකීමේ වුවමනාවක් නියෝජනය කරන බව සැබෑ මුත්, ඉතිහාසයේ අමතක කිරීමට යෝජනා කෙරෙන ඛේදවාචකයක්, මානව ඉතිහාසයක් කෙරෙහි ඡායාරූප සහ වීඩියෝ වැනි දෑහි ඇති වැදගත්කමද අපට මතු කළ හැකි ය. රෙජිමයන් විසින් සාහසික ලෙස සොයා පාදා ඡායාරූප පවා විනාශ කිරීමේ දේශපාලනික වුවමනාව කුමක්දැයි ඒ අනුව අපට තේරුම් ගත හැකි වෙයි.
තම ප්‍රියාදරයා වෙනුවෙන් ගලක්-පහනක් (ඒවාටද අද දක්වා ඉඩ නැත) තැබීම ආත්මීය වේදනාවට සහනයක් වුවත්, එය ඉතිහාසයට සාක්ෂියක් බවට පත් වන්නේ නොවේ.
මෙසේ බොහෝ කරුණු අනුව දීපචෙල්වන්ගේ ස්මාරක ශිලාවත සාහිත්‍යමය සටන්කාමීත්වයක් ලෙස අප දකිමු.
මෙය සිංහලයෙන් පරිවර්තනය කළ ජී.ජී. සරත් ආනන්ද සේම පළ කළ කඩුල්ල ප්‍රකාශකයන්ගේ නිර්භීතභාවයද අගය කළ යුතු වෙයි.
දෙමළ කෘති සිංහලයට පරිවර්තනය කිරීමේදී සිදුවන බොහෝ අඩුපාඩු – විශේෂයෙන් කෘතිය දෘෂ්ටිවාදීව සිංහලකරණයට ලක් කිරීමේ විනාශය මෙම කෘතියට නොකිරීම කෙරෙහි සරත් ආනන්ද වෙත අපගේ ස්තුතිය පුද කළ යුතු ය. ප්‍රකට සමහර කෘතිවලට ඔසරි පවා අන්දවා තිබූ ඉතිහාසයක එය සිහි නොකර බැරි ය.
පරිවර්තනය ද අගය කළ යුතු මට්ටමක තිබේ.
පක්ෂීහු පරන්තන් ප්‍රදේශයේ සිට අසහනකාරී ලෙස හඬ නගමින් ඉරණමඩු ප්‍රදේශය බලා ඉගිල ගියහ. අහස ද කලබලකාරී ස්වභාවයක් ගත්තේ ය. තිරුවෛයාරුවල පිහිටි පුංචි අම්මාගේ නිවසට ගොස් සිටි අයියාව කලකින් නොදුටු බැව් අම්මා පැවසුවේ වේදනාවෙනි. පේළි පේළි පියඹා යන පක්ෂීන්ගේ දර්ශනය සිතේ බිය වර්ධනය කරයි.
- ස්මාරක ශිලාවත – 41 පිට
පේළි පේළි පියඹා යන පක්ෂීන්ගේ දර්ශනය සිතේ බිය වර්ධනය කරන්නේ ඇයි? ලියැවිය යුතු ය. කියැවිය යුතු ය. ගුවන් තොටිලි ගැස්සී යා යුතු ය. චින්තන පරිමණ්ඩලයන් පුළුල් විය යුතු ය. සාහිත්‍යය නම් එසේ විය යුතු ය.
සඳුන් ප්‍රියංකර විතානගේ.
තවත් ලිපියකට –