මිය ගිහින් අවුරුදු 19කට පසු සිනමා සක්විති ගාමිණීට ලබා දුන් නඩු තින්දුව

ප්‍රවීණ සිනමාවේදී ගාමිණී ෆොන්සේකාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කර තිබෙනවා.

ඒ හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් සම්බන්ධවයි.

“ගාමිණී ෆොන්සේකාගෙන් ලක්ෂ 25 ක බැංකු පොල්ලක්” යන සිරස්තලය යටතේ රාවය පුවත්පතේ ප්‍රවෘත්තියක් පලවී ඇති බවත් තමන් බැංකුවට පොලු තැබූ බවට රාවය පුවත්පතට තොරතුරු ලබාදී ඇත්තේ මහජන බැංකුව හෝ එම බැංකුවේ තිස්සමහාරාම ශාඛාවේ කළමනාකරු වන බවත් සඳහන් කරමින් ගාමිණී ෆොන්සේකා සිය කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා පවරා තිබූ නඩුවක් විභාග කළ හම්බන්තොට දිසා අධිකරණය එම වන්දි මුදල ගෙවන ලෙසට මහජන බැංකුවට නියෝග කරමින් තීන්දුවක් ලබාදී තිබෙනවා.

ගාමිණී ෆොන්සේකා විසින් හම්බන්තොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සැනසුම හොලිඩේ රිෂෝට් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය තිස්සමහාරාම ශාඛාවෙන් ණය මුදලක් ලබාගෙන තිබුණත් 1983 ජුලි අරගල සමයේ සිය ආයතනය විනාශ වීම නිසා බැංකුව හා තමා අතර ඇති කර ගත් එකඟතාවක් අනුව ණය මුදල පිළිබඳ ගැටලුව සමථයකට පත්කරගෙන තිබියදීත් එලෙස ප්‍රවෘත්තියක් පළ වීම නිසයි.

එසේම එවකට පැවැති රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස ද කටයුතු කළ තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදුවී ඇතැයි ද ගාමිණී ෆොන්සේකා සිය පැමිණිලි මගින් දිසා අධිකරණයට පෙන්වාදී තිබෙනවා.

රාවය පුවත්පත එම ප්‍රවෘත්තිය පළ කර ඇත්තේ ලංකා බැංකුවෙන් හෝ බැංකු කළමනාකාරවරයාගෙන් බවට ප්‍රමාණවත් සාකෂි ඉදිරිපත් වී නැහැ. එම නිසා එම බැංකුවට වන්දි ගෙවන ලෙසට ලබාදී ඇති තීන්දුව සාධාරණ තීන්දුවක් නොවන බවත් පුවත්පතකට වෙනත් මාර්ග ඔස්සේ ප්‍රවෘත්ති ලබාගැනීමේ හැකියාව පවතින බවත් අභියාචනාධිකරණය එම තීන්දුව මගින් පෙන්වාදී එම නඩුව බලරහිත කර තිබෙනවා.

මහජන බැංකුව වෙනුවෙන් නීතිඥ චමත් ප්‍රනාන්දු, නීතිඥ මිලින්ද මුණිදාස යන අය සමග ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් පෙනී සිටි අතර නීතිඥ මෙරාන් කරිම්, විස්වාන් ඉක්බාල් සමග ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා ගාමිණී ෆොන්සේකාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles