Ourang medan අවතාර නැවක් ද?

සාරා වනිගසිංහ

Ghost ships, එසේත් නැතිනම් හොල්මන් නැව් පිළිබඳව සඳහන් වන්නේ ජනප්‍රවාදවල සහ චිත්‍රපටවල පමණක් නොවේ. සැබෑ ලෝකයේද එවැනි නෞකා පිළිබඳව වරින්වර වාර්තා වී ඇත.

මේ අතරින් එක් සිදුවීමක් වන 1947 වර්ෂයේදී වාර්තා වූ Ourang medan නම් වූ ලන්දේසි වාෂ්ප නෞකාව, සොයාගන්නා විටත් මුළු කාර්ය මණ්ඩලයම අභිරහස් ලෙස මිය ගොස්, මුහුදු ගමන් මාර්ගවලින් ඉවත් වී ඉබාගාතේ පාවෙමින් තිබී ඇත.

මීට වසර හැත්තෑ හයකට පෙර , එනම් 1947 වර්ෂයේ ජුනි මස දිනයක – දෙවන ලෝක යුද්ධයෙන් පසුව කෙමෙන් සුවය ලබමින් සිටි අග්නිදිග ආසියාවේ මලක්කා සමුද්‍ර සන්ධිය (සුමාත්‍රා සහ මැලේසියාව අතර ) හරහා ගමන් කරන නැව් කිහිපයකට ලැබුණු SOS ආපදා ඇමතුමක් මේ සියල්ලේ ආරම්භය විය.

මුල්ම පණිවිඩයෙන් හදිසි වෛද්‍ය ආධාර ඉල්ලූ Ourang medan ගේ ඇමතුම ග්‍රහණය කරගත් සිල්වර් ස්ටාර් නම් ඇමෙරිකානු යුධ නෞකාව ඒ වන විට යාත්‍රා කරමින් සිටියේ සොලමන් දූපත් වලට සැතපුම් දෙසීයක් පමණ නිරිතදිගිනි. වෛද්‍ය ආධාර සැපයීමට ප්‍රංශ හා රෝමය එකඟ වූ බවත්, ඉල්ලීම අදාල පාර්ශ්ව වෙත සම්ප්‍රේෂණය කරන ලෙසත් සිල්වර් ස්ටාර් පිළිතුරු දුනි. එහෙත් ඉන් පසුව ලැබුණු මෙඩාන් නෞකාවේ ඇමතුමින් සියල්ල වෙනස් විය.

“කැප්ටන් ඇතුළු සියලුම නිලධාරීන් මිය ගොස්, සිතියම් කාමරයේ සහ මෙහෙයුම් මැදිරියේ වැතිර සිටියි. මුළු කාර්ය මණ්ඩලයම මිය ගොස් ඇත. “
ඉන් පසුව කියවාගත නොහැකි, අපැහැදිලි මෝර්ස් කේත කීපයක් සහ “මම මැරෙනවා.” ලෙස ආපදා ඇමතුම අවසන් විණි.

සිල්වර් ස්ටාර් විසින් පැය දාසයකට පමණ පසුව මෙඩාන් නෞකාව සොයා ගත් අතර, එය සංඥා නිකුත් කළ ස්ථානයේ සිට සැතපුම් පනහක් පමණ දුර ගසාගෙන ගොස් තිබිණ. නෞකාව ඇමතීමට උත්සාහ කළත්, කිසිදු ධජයක් හෝ කාර්ය මණ්ඩලයේ කිසිදු සලකුණක් හෝ නොතිබුණි. කිසියම් භයානක සිදුවීමක් අපේක්ෂාවෙන් මෙඩාන් වෙත ගොඩවූ සිල්වර් ස්ටාර් නැවියන්ට දැකගත හැකි වූයේ නෞකාව පුරා විසිරී තිබුණු ලන්දේසීන්ගේ මළ සිරුරුය. නමුත් කාර්ය මණ්ඩලය හතළිහකට වැඩි මිසක් අඩු නොවිය යුතු තරම් විශාල මෙඩාන් නෞකාව තුළ තිබී සොයාගත්තේ මියගිය නැවියන් දොළොස් දෙනෙකු හා එක් සුනඛයෙකු පමණි. මළසිරුරු පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ මුහුණු වෙනස් වී ඇත්තේ මරණයට පෙර ඔවුන් භයානක දෙයක් දුටුවා යැයි යමෙකුට සිතිය හැකි ආකාරයට ය. සුනඛයාගේ මුහුණ පවා වේදනාවෙන් මිරිකී ඇඹරීගොස් තිබිණ.

කපිතාන්වරයාගේ සිරුර මෙහෙයුම් මැදිරියේ තිබී හමු වූ අතර, සන්නිවේදන නිලධාරියා මරණය තෙක්ම තම රාජකාරිය අතනොහැර අවසාන පණිවිඩය, අවසාන සුසුමත් සමඟම ගුවනට මුසුකර – සීතල ඇඟිලි තවමත් ටෙලිග්‍රාෆ් පුවරුව මත ඔබා තනතුරේ අවසානතම වගකීමද ඉටුකර ජීවිතය අතහැර ගොස් තිබිණි. සිල්වර් ස්ටාර් නැවියෝ තව දුරටත් සොයා බැලීමට බොයිලේරු තට්ටුවට බැස්සහ. ඉතා ඈත දිනයකින් පසු ගිනි පුපුරක් පවා නොදැල්වුන බව හඟවන තව ශීතලක් ඔවුන් වෙළා ගති.

ශක්තිමත් මනසක පවා වෙවුලීමක් ඇති කරන මෙඩාන් අතහැර නැවතත් ඔවුන්ගේ නැවට පසුබැසි ඔවුන් වරාය වෙත නෞකාව ඇදගෙන යාමට තීරණය කළහ. නමුත් ඔවුන් ඇදගෙන යන කේබල් සවි කළ වහාම නැවෙන් දුමාරයක් පිට වීමට පටන් ගත් අතර අවදානම අවම කිරීමට කේබල් මුදාහැරීමට සිල්වර් ස්ටාර් ට සිදුවිය. ස්වල්ප වේලාවකට පසු පුපුරා ගිය මෙඩාන් සාගර සොහොන තුළට ගිලී ගියේ එහි සියලු රහස් ද රැගෙන ය.

කාර්ය මණ්ඩලය අත්දැකි සිදුවීම කුමක්දැයි අදටත් විවිධ මත පළ වෙයි. සමහරු විශ්වාස කරන්නේ එය අද්භූත මිනිසුන්ගේ වැඩක් බවයි.
නමුත් බොහෝ දෙනාගේ මතය වන්නේ ලන්දේසි නෞකාව පොටෑසියම් සයනයිඩ් සහ නයිට්‍රොග්ලිසරින් වැනි අන්තරායකර ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවයි. මුහුදු ජලය භාණ්ඩ සමඟ අන්තර්ක්‍රියා කර විෂ වායූන් මුදා හැරීමට සහ කාර්ය මණ්ඩලයට විෂ වීමට හේතු වන්නට ඇත. නයිට්රොග්ලිසරින් පසුව පිපිරීමට හේතු වූවා විය හැකිය. නැතහොත් බොයිලර් කාමරයේ කාර්මික දෝෂයක් නිසා උත්පාදනය වූ කාබන් මොනොක්සයිඩ් විෂ වන්නට ඇත. වඩාත්ම අසාමාන්‍ය දෙය නම් මෙඩාන් නෞකාවේ ලියාපදිංචි වාර්තාවක් පවා නොමැති වීමයි.

සාගරයේ ඇත්තේ සුළං සහ රළ වල සිත් ඇදගන්නාසුළු ආදරයත්, ඒවාට පහළින් නිහඬ මරණයත් පමණි. යුග ගණනාවක් පුරා සාගරයට උනන්දුවක් දක්වන අසංඛ්‍යාත පෙම්වතුන් කැඳවා ඇත්තේ, අනතුරුව අඳුරු – පතුලක් නැති ජලයේ ගිල්වා දැමීමට පමණි. එසේ යන්නට ගියද සමහරු අපව සොයා නැවත පැමිණෙයි. නැතිවූ නැවක් කාර්ය මණ්ඩලය නොමැතිව නැවත මතු වෙයි. ගිලුණු යාත්‍රාවක් නැවත වරායේ දිස්වෙයි. කිසිදා නොතිබූ නෞකාවක් බොහෝ මිනිසුන්ට දිස්වෙයි . මිනිසා සාගරයේ රහස් සොයා යාත්‍රා කිරීම ඇරඹූ දින සිටම මේ සියල්ලේ බර තමා උර මතටද පවරා ගති. ඇතැම් පුවත් හා ජනප්‍රවාද සත්‍ය වන අතරම ඒ හා සමානව තවෙකක් අපව විපිළිසර කරයි. නමුත් පරිකල්පනයට නම් මේ සියල්ල සිත් ඇදගන්නා සුළු ය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles