ජංගි හොරා බොරු ගැඹුරක් – වෙළෙඳ වැඩක්

සඳුන් ප්‍රියංකර විතානගේ

සිනමාකලා ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් විදිහට සැලකෙන සෝමරත්න දිසානායකගෙ නවතම සිනමාපටය “ජංගි හොරා”. තම නිර්මාණ ලැයිස්තුවෙන් වැඩි කොටසක් කුඩා දරුවන් අරමුණු කරගෙන නිර්මාණ කළ ඔහු – “සුනාමි” සිනමාපටයට පසුව කළ නිර්මාණය මේක. ඔහුට පොදුවේ තිබෙන විවේචනය – කුඩා දරුවන් වෙත යැ යි කියා ඔහු කළ සිනමාපට කුඩා දරුවන් යොදාගෙන වැඩිහිටියන්ට කළ නිර්මාණ කියන එක.

කොයි හැටි වෙතත් “ජංගි හොරා” ගැන කතා කරන විට – මෙවැනි තේමාවක් තෝරා ගැනීමේ නිර්භීතභාවය ගැන පූර්ණ පැසසුම ඔහුට ලබා දිය යුතු යි. එක යුගයක හඳගමගෙ “අක්ෂරය” වගෙ සිනමාපටයක් නොනිල වාරණය වීම – එහිදී ,නාමධාරීන්ගෙ භූමිකාව සහ එයිට කාලෙකට පස්සෙ සෝමරත්නග‍ෙ “ජංගි හොරා” වගෙ සිනමාපටයක් පශ්චාත් කොරෝනා සමයක ආදායම් ලැබීම ටිකක් උත්ප්‍රාසාත්මක වුණත්.

වතාවක් සුනිල් ටී.ත් කියලා තිබ්බා වගේ සෝමෙලා – රේණුලා “දුවන චිත්‍රපට හදන්න දස්ස වීම” සිනමා කර්මාන්තය පැත්තෙනුත් ධනාත්මක දෙයක්.

“ජංගි හොරා” සිනමාපටය පාදක වෙන්නේ මනෝචිකිත්සාවෙ Paraphilic disorders හි ප්‍රධාන කිහිපයෙන් එකක් වන fetishistic disorder (අර්චනකාමී ආබාධයේ) එක් කොටසක් ලෙස ගැනෙන රෙදි හා සම්බන්ධ අර්චනකාමීත්වය. මේ සාමාන්‍යයෙන් වෙසෙස් විශේෂිත ලිංගික භාවිතයෙදි වෙන්නෙ, පොදු ක්‍රියාවලිය ඇතුළෙ ලිංගික උත්තේජනය ඇති නොවෙන දේවල් ලෙස සලකන අජීවි ද්‍රව්‍ය හරහා ලිංගික උත්තේජනය ලබා ගැනීම. ඒ තත්වයෙදිත් කාන්තා යට ඇඳුම් හරහා ලිංගික උත්තේජනය ලබා ගැනීම ප්‍රතිශතාත්මකව ටිකක් ඉහළ තිබෙන දෙයක්. විශේෂයෙන් මේක අපේ සමාජයෙත් ප්‍රසිද්ධ රහසක්ව පවතින දෙයක්. මේ වෙනස් ලිංගික භාවිතාවක් ඇති තරුණයෙක්ගේ ජීවිතය – සහ සමාජය අතර වන ගැටුම තමා “ජංගි හොරා”ගෙන් නිර්මාණය කරන්නට උත්සාහ කළා කියල පෙනෙන සිනමාත්මක භාවිතාව.

මේ ලිංගික ක්‍රියාකාරකම් අසාමාන්‍යයි කියලා වර්ගීකරණය කිරීමත් එක් අතකින් විවාදාපන්න දෙයක්. ඒ විදිහට සැලකුවොත් ලිංගික සංසර්ගය හැරෙන්නට ඒ වටා ගොඩ නැගී තිබෙන විවිධ ලිංගිකමය ක්‍රියාකාරකම් – සංස්කෘතිය ආදී සියල්ලත් අසාමාන්‍ය විදිහට සලකන්න සිද්ද වෙනවා. BDSM වගෙ ලිංගික භාවිතයක් ගත්තොත් බොහෝ රටවල් – එක්සත් රාජධානිය – නෝර්ඩික් රටවල් සියල්ල පාහේ ඒ කෙරෙහි නෛතික ලිහිල් පිළිවෙතක් අනුගමනය කරන බව පේනවා. විශේෂයෙන් ම BDSM නාමකරණයේ SM අකුරු නියෝජනය කරන්නෙ Sadism සහ mascochism කියන ඒවා. එම භාවිතයන් – පෙර සඳහන් කළ Paraphilic disorders අතරටත් ගැනෙනවා. Sadism (පරපීඩා කාමුකත්වය) වගෙ එකක නාමකරණයත් ප්‍රංශයේ දාර්ශනික මරා සාද් (මාක්ස් ඩි සාදේ) වගෙ තැනකින් එන එක තත්වය තවත් බැරෑරුම් කරනවා.

කොහොම වුණත් මේ විවාදාපන්න තත්වය සමනය කරගෙන මේක නිරවුල් කරගන්න තියෙන මග විදිහට පේන්නෙ – කෙනෙකුගේ ලිංගික ආශයන් – ලිංගික භාවිතයන් තව කෙනෙක්ගේ නිදහසට – අයිතීන්ට බාධාවක්, හානියක් නොවේ නම් කියන තැන පිහිටා කටයුතු කිරීමයි.

සාමාන්‍යයෙන් මේ අර්චනකාමී වස්තූන් හා බැඳුණු ලිංගික නැඹුරුතා භයානක රෝග විදිහට සැලකෙන්නෙ නෑ. ලෝකෙ – ලංකාවෙ වුණත් එහෙමයි. පොඩි පහේ නින්දාවක් එක්ක ඒ දිහා බැලෙන එක තමා වෙන්නෙ.

“ජංගි හොරා”හි මේ යට ඇඳුම් හා බැඳුණු අර්චනකාමය පෙන්නුම් කරන විදිහ සහ සාමාන්‍යයෙන් මේ අර්චනකාමීන් හැසිරෙන විදිහ අතර බරපතළ වෙනසක් තිබෙන බව පැහැදිලිව කියන්න ඕන. ලෝකයෙත් මෙරටත් මේ ලිංගික උත්තේජනය පිණිස “යට ඇඳුම් සොරාගන්නන්” මිස පැහැර ගන්නන් ඇත්තේ නැහැ. මේ සිනමාපටයේ දැක්වෙන්නේ, ප්‍රචණ්ඩ ලෙස යට ඇඳුම් සොරාගන්නෙක්..

සාමාන්‍යයෙන් සොරාගැනීම යනු රහසිගතව සිදුවන්නක්. බොහෝ විට මේ අර්චනකාමියාගෙ ප්‍රමෝදයත් මේ අසු නොවෙන සේ කරන සොරකම මත තීව්‍ර වෙනවා. බොහෝ දෙනා දන්නා පරිදි මේ යට ඇඳුම් සොරගන්නන් හෙළිදරව් වී ප්‍රචණ්ඩ ගැටුම් කෙරෙහි එය වර්ධනය වෙන්නෙ බොහොම අඩුවෙන් – එයිට වඩා විශාල වශයෙන් ප්‍රචණ්ඩ සිදුවීම් වෙන්නෙ “ෂෝ මෑන්” කියල සමාජ වහරෙ කියැවෙන ප්‍රදර්ශනකාමීන් සහ සමාජය අතර.. සිනමාපටයට ගැටුමක් අවශ්‍ය නිසාවෙන් ඒ අනුව ව්‍යාජයක් නිර්මාණය කරලා තියනවා.

ඒ වගෙ ම කාන්තාවන්ගෙ පියයුරු ස්පර්ශ කිරීම කියන කාරණය සිනමාපටයට ගෙනත් තියන්නෙ ම කතාවස්තුවටවත් – තේමාවටවත් කිසිම සාධාරණයක් කරන්න නෙවෙයි. සිනමාපටයට සෙනඟ අද්දගන්න කියන එක පැහැදිලියි.

ලිංගික ක්‍රියාවකදි උත්තේජනය පිණිස කාන්තාවන්ගෙ පියයුරු ස්පර්ශ කරනවා කියන එක – කොයියම්ම සමාජෙකවත් අසාමාන්‍ය භාවිතාවක් විදිහට ගැනෙන්නෑ. එය මනෝචිකිත්සාවෙදිත් අසාමාන්‍ය භාවිතයක් කියලා ගැනෙන්නෙ, Frotteuristic කියන තත්වෙදි. පොදු ස්ථානයකදි අනෙකෙකුගේ ශරීරයේ ලිංගිකමය ස්ථාන හෝ එසේ නොවන ස්ථාන ස්පර්ශ කිරීම හෝ තදින් මිරිකීම තමයි Frotteuristic disorder කියල කියන්නෙ. ජංගි හොරා සිනමාපටයෙදි ඒ දේ වෙන්නෙ නෑ – ස්ව කැමැත්තෙන් පියයුරු ස්පර්ශ කිරීමට ඉඩ දුන්න ම එහෙම කරන එක disorder එකක් විදිහට සලකන්න පුළුවන් තනේ පෙන්නලා කට්ටිය හෝල්වලට ගෙන්න ගන්න හිතුවොත් විතරයි.

අතිශය වැදගත් ම කාරණය තමා – මේ කතාබහට ලක් කරන්නට උත්සාහ කරන මානසික තත්වය ඇති කිසිවෙකු මේ සිනමාපටයේ මෙන් අසාමාන්‍ය – බැලූ බැල්මට මානසික ආබාධිත යැ යි පෙන්නුම් කරන්නන් නොවීම. මේ අය පොදු සමාජයෙදි අතිශය සාමාන්‍ය හැසිරීමක් පෙන්නුම් කරන අය. මෙතැනදි සිනමාපටය බරපතළ පොට වරද්දාගැනීමක් කරනවා. මේ වෙනස් ලිංගික නැඹුරුවක් ඇති තරුණයා වර්තමාන රියැලිටි තරුවක් තරම් ජංගි හොරකම් කිරීමට ප්‍රසිද්ධ බැව් දැක්වීම මගින්..

ඒ අනුව ගත්ත ම “ජංගි හොරා” සිනමාපටය – අධ්‍යක්ෂවරයා උඩ දමා කියන මනෝවිද්‍යාත්මක සිනමාපටයක් නෙවෙයි. එහි මානසික ආබාධයක් ගැන විද්‍යාත්මක විදිහට කතා කෙරෙන්නෙ නෑ. විශේෂයෙන් මනෝ රෝග වෛද්‍යවරයා හරහා පවා අදාළ අසාමන්‍යතාවලට ලොව දැනට පිළිගන්නා නිවැරදි විග්‍රහයක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් බරපතළ විදිහට සාකච්ඡාවට ගැනෙන්නෑ.

මේ කරුණු සලකා බැලුව ම, ජංගි හොරා සිනමාපටය තේමාත්මකව අසමත් සිනමාපටයක්.

තිරරචනයේදී නම් – මේ කතා වස්තුවට දේපළ සම්බන්ධයක් – විදේශීය මැදිහත්වීමක් එකතු කරලා යම් ගොඩනැංවීමක් කරලා තියන බව පේනවා. (බොරු ඇන්ටිචයිනා ලයින් එකකුත් ගහනවා ඒ අස්සෙ..) ඒත් කෝටි ගාණක දේපළ තෘෂ්ණාව බිරිඳගෙ පොඩි වෑයමකින් නිවිලා ගිහින් සැමියා සිරිමත්ට අඳින තැන දි තිරරචනයත් දිය වෙලා යනවා.

රඟපෑම් පැත්තෙන් ගත්ත ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන පුබුදු චතුරංගගෙ මේ දක්වා කළ අන්තිම බාල ගණයේ රඟපෑම මේක කියල කියන්න වෙන්නෙ කණගාටුවෙන්. අදාළ චරිතයට අයත් විය යුතු ගති සොබාවන් දසමයක්වත් පුබුදු අඳුනගත්ත බවක් පේන්නෙ නෑ. ඒ රංගනය දැක්කම හිතෙන්නෙ, පුබුදු දන්න එකම මානසික රෝගය ඔටිසම් විතරයිද කියලා. දිල්හානිගෙ රංගනය හොඳ රංගනයක් වුණත් – අදාළ චරිතයට ඈගෙ වයස දැන් වැඩියි කියන එක පෙනෙනවා. බුද්ධි රන්දෙණිය හොඳින් අදාළ චරිතය කරනවා. ඒ වගෙ ම ඒ චරිතය වෙනුවෙන් ඇගේ නිර්භයවීමත් අගය කරන්නට ඕන.

සමස්තය සැලකුවම සෝමරත්න දිසානායකගේ “ජංගි හොරා” ආදායම් ලැබුණ සිනමාපටයක් වෙන්න පුළුවන්. ඒත් ඒක තේමාත්මකවත් – කලාත්මකවත් සාර්ථක සිනමාපටයක් නෙවෙයි.
ලිංගිකමය දේවල් කෙරෙහි වන උනන්දුව දඩමීමා කරගෙන – බොරු ගැඹුරක් දවටපු වෙළෙඳ වැඩක් විතරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles