ටෙලිනාට්‍ය වගේ ෆිල්ම් හැදෙන රටේ – ෆිල්ම් එකක් වගේ ටෙලිනාට්‍යයක්

සඳුන් ප්‍රියංකර විතානගේ

නව මාධ්‍යය ධාරාවන්ට ලංකාව විවෘත වෙන්න කලින් කාලෙ නම් මෙහෙ බහුතරයක් දෙනාව කලාව අස්සෙ රවටන්න ඕන තරම් හැකියාව තිබුණා. විශේෂයෙන් ජනප්‍රිය කලාව අස්සෙ. හැකියාව තිබුණා විතරක් නෙවෙයි. රැවැට්ටුවා. මෙහෙ ඒ කාලෙ නින්ජා සටන් සිනමාපට එහෙමත් හදලා පෙන්නුව ඉතින්. කොහොම වුණත් නව මාධ්‍ය අවකාශයන් එක්ක – නිතර අතේ රැඳෙන ස්මාට් දුරකතන වගේ එව්වා එක්ක දැන් කලාව අස්සෙ මිනිස්සු රැවටීම කියන්නෙ සෑහෙන තරම් ආමාරු දෙයක්. මොකද හැමෝම පාහෙ ලෝකෙට විවෘතයි. කලාව අස්සෙ බොරු කරන්න බෑ අහුවෙනවාමයි. ලෝකෙ මහා කලාව අතැඹුලක් වගේ තමා දැන් හැමෝටම. අවුරුද්දට ෆිල්ම් 1500ක් විතර හැදෙන ඉන්දියාවෙ වගේ නෙවෙයි, සිනමා ඉතිහාසයම ෆිල්ම් 2000ක් විතර වුණ ලංකාවට මේ තත්වයට මුහුණ දෙන්න සෑහෙන අමාරුයි.

අපේ ජනප්‍රිය සිනමාව බල්ලටම ගියා. (පරණ ජනප්‍රිය සිනමාව විනාස කරන්න හදපු එක නතර වුණා යන්තම් සිනමාවට කෙළ වුණ එකෙන් – උදාහරණ කොළඹ සන්නිය (රී) මේක්) සම්භාව්‍ය සිනමාවකට විතරක් පවතින්න බෑ. කර්මාන්තයක් විදිහට.. ඉතින් දැන් ෆිල්ම් හෝල්වල ප්ලාස්ටික් බඩු විකුණනවා. මේ අර්බුදය ජයගන්න තිබුණා බොරු පම්පෝරි නැතුව ඇත්ත අර්බුදයට-ඇත්ත සම්පත් ටිකට අභිමුඛ වෙලා වැඩේ ගෙනිච්ච නම්. මලයාලම් සිනමාව වගේ එකක් වැඩේ ස්ථානගත කරන හැටි ඉතින් බලන්න ලස්සනයි. දැන් මෙහෙ පැෂන් එකත් මලයාලම් සිනමාව.

මේ වෙද්දි රටම කඩා වැටිලා. රට හොඳටම කඩා වැටෙන්න කලින් වුණත් අපේ සිනමාව තිබුණෙ කඩා වැටිලා. දැන් ඉතින් ආයෙ කවර කතා ද?
ප්‍රසන්න ජයකොඩි ලංකාවෙ සිනමාව අස්සෙ තමන්ගෙ නම නොමැකෙන්න ලිව්ව අධ්‍යක්ෂවරයෙක්. ඔහු අධ්‍යක්ෂණය කරපු “එයා දැන් බැඳලා” ටෙලි නාට්‍යය මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරෙනවා. සෝප් ඔපෙරා විදිහට හඳුන්වපු (සෑහෙන ටෙලිනාට්‍ය ප්‍රමාණයක් ඒ නම සාධාරණීකරණය කරමින් ඉන්නවා දැනුත්) ටෙලිනාට්‍ය- කලාවක් විදිහට බාර ගන්න බෑ කිව්ව- ටෙලිනාට්‍ය අස්සෙ ප්‍රසන්න මේ කරලා තියන වැඩේ සෑහෙන වර්ණනා කරන්න ඕන එකක්. ලංකාවෙ සිනමා ප්‍රේක්ෂකයට මතක හිටිය වැඩක් වුණු 28 සිනමා පටයෙ පෙරකතාව තමයි, ටෙලි නාට්‍යයක් විදිහට මෙහි එන්නෙ. බරපතළ කලාත්මක ශ්‍රමයක් වැය කළා විය යුතු වැඩක්.

ටෙලි නාට්‍යයකට දරා ගන්න පුළුවන්ද කියල හිතෙන ජාතියෙ කැමරා කෝණ පාවිච්චි කිරීමක්. අපට බැරි වුණාට සිනමාව කියන්නෙ මහා කලාවක්. රූපවාහිනිය කියන්නෙ සිනමාවට අලගු තියන්නවත් බැරි එකක්. ඒත් මුල් කාලෙ සාත්වික අභිනයන් කරන්න බෑ කිව්ව රූපවාහිනියෙ, මහේන්ද්‍ර-සේමිණි-සරත් කොතලාවල-ප්‍රදීප් රාමවික්‍රම පාන පෙළහර අගය නොකර හිටියොත් කුහකකමක්. 28 ෆිල්ම් එකේ දයා තෙන්නකෝන් රඟපෑව චරිතය මම හිතන්නෙ සරත් කොතලාවල කරන්නෙ.. සරත් ඒක දයා තෙන්නකෝන් අභිබවා කරනවා. මේ දක්වා කළ රඟපෑම්වලින් සේමිණි ඉද්දමල්ගොඩගෙ හොඳම රංගනය එන්නෙ රූපවාහිනි ටෙලිනාට්‍යයකින් කියලා තමා කියන්න වෙන්නෙ. ප්‍රදීප් රාමවික්‍රම වේගයෙන් නළුවන් හිඟ වෙමින් යන ලංකාවෙ කලා ක්ෂේත්‍රයට අස්වැසිල්ලක් වෙයි දවසක.

කතා සන්දර්භය ගත්තොත් පරිධියේ ජීවිතවල සංකීර්ණත්වය දිහා එල්ල කරන ආලෝකය දරාගන්න බැරි තරම්. බණවලින් වැහිලා ගිය රටක, දොරමඬලා ගම්වලින් වැහිලා ගිය රටක-ඇත්ත ජීවිත නිමේෂයන් මොන වගේ ද? ඒවා මොන තරම් අසංස්කෘතිකයි ද කියලා ටොකු ඇන ඇන පෙන්වන කතා සන්දර්භයක්. නූතන ජාතක කතාවක් තරම් සංදිග්ධතා බහුල කතා ශරීරයක්. ඔබ හිතන්න – හැමෝම දන්න ලිංගික ශ්‍රමිකාවක් උත්සවයක් තියලා විවාහ කරගෙන පරිධියේ ගමකට කැන්දන් ගියාම සිද්ද වෙන විනම්බෑසිය කලාත්මකව අල්ල ගන්න උත්සාහ කරන එක? අපරාධය සහ දඬුවමේ – රැස්කොල්නිකොවු ලිංගික ශ්‍රමිකාවකට දණ ගහලා “මම දණ නැමුවෙ උඹ අස්සෙ දුක් විඳින මනුෂ්‍යත්වයට” කියලා කියන තැන එන බ්ලාස්ට් එක “එයා දැන් බැඳලා” අස්සට ගේන්න ප්‍රසන්න සමත් වෙනවා.

ඉස්සර තිබුණෙ, ආණ්ඩුවෙ චැනල් දෙකයි. ටී.එන්.එල් එකයි. සතියට වතාවක් පෙන්වන නාට්‍ය බලන්න ම ඕන. ඒක ඉතින් රේටින් හරි මොනා හරි කතා නෑ. එක නාට්‍යයි-ඒකට තරඟ නෑ. හැබැයි දැන්? නාට්‍ය කියන්නෙ බඩවැල් වගේ. පුංචි එකා මහණ කරලා සාමනේරකමේ ඉඳන් උපසම්පදා වෙනකම් නාට්‍ය යනවා. චැනල් ගණනාවක නාට්‍ය (සහ බඩවැල්) සිය ගාණක්-යූ ටියුබ් චැනල් දහස් ගාණක්, නෙට්ෆිලික්ස් අස්සෙ ලෝකෙ විශිෂ්ටතම ටී.වී. සීරීස්. ඉතින් ධම්ම ජාගොඩලට වඩා අමාරු ග්‍රවුන්ඩ් එකක තමා ප්‍රසන්නලට නාමල්ලට ( ජයසිංහ) සහ අනෙක් අයට වැඩ කරන්න වෙන්නෙ. ෆිල්ම් එකක් බලන්න ටිකට් එකක් ජීවිතේට නොගත්ත උන් උමංදාවල ටයිල් අල්ලන රටේ මෙහෙම වැඩ තමා ඉතින් ආසියාවේ ආශ්චර්යය!

ටෙලි වගේ ෆිල්ම් හැදෙන රටේ – ෆිල්ම් එකක් වගේ ටෙලියක් “එයා දැන් බැඳලා!”
බලන්න – ඒත් “එයා දැන් බැඳලා!!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles