බලපත්‍රධාරීන්ගේ ඝාතනවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැදගත් තීන්දුවක්!

පොලිස් අත්අඩංගුවේදී ඝාතනයට ලක් වෙන සැකකරුවන් සම්බන්ධයෙන් වන ඉතා වටිනා නඩු තීන්දුවක් පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙනු ලැබ තිබෙනවා. යමෙක් පොලිස් අත්අඩංගුවට පත් වූ වහාම අපරාධකාරයෙකැයි තීන්දු ලබා දෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් නම් මේ නඩු තීන්දුව ගැන කට හොලවන්නැති බව නිසැකයි. විකල්ප මාධ්‍ය කතිකාවන්වලවත් එතරම් සඳහන් නොවුණ මේ නඩු තීන්දුව ඉතා වැදගත් එකක්.

මෙකී තීන්දුවට අදාළ නඩුවෙ එන විදිහට 2008 වසරෙදි මොහොමඩ් ඉර්ෆාන් කියල කෙනෙක් කොම්පඤ්ඤ වීදිය පොලිසිය අත්අඩංගුවට අරන් තියන්නෙ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සහ කොල්ල කෑමේ චෝදනාවලට. ඔහු සැකපිට අත්අඩංගුවේ ඉද්දි එල්ල කෙරුණු පොලිස් වෙඩි පහර දෙකකින් තමා මරණයට පත් වුණ බව සඳහන් වෙන්නෙ. ශ්‍රී ලංකා පොලිසියේ චිරාත් කාලීන තිරපිටපත – සැඟවූ ආයුධ පෙන්වන්නට යෑමේදී සැකකරු පොලිස් නිලධාරීන්ගේ තුවක්කු පැහැරගන්න කරපු උත්සාහයෙදි, ආත්මාරක්ෂාවට වෙඩි තැබුවා කියලා තමා වැඩේ අවසන් වෙලා තියන්නෙ.

හැබැයි සුලබ ම විදිහට මේ සිද්ධිය මෙතැනින් අවසන් නොවී, මිය ගිය අයගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තියනවා. වසර වසර 15කට පමණ පස්සෙ එහි තීන්දුව ලැබෙන්නෙ එවක කොම්පඤ්ඤවීදියෙ පොලිසියේ සේවය කරපු ,

ස්ථානාධිපතිවරයා සහ පොලිස් පරීක්ෂක කේ.එන්.සී.පී.කළුආරච්චි
කේ. ඩබ්ලිව්.ජී. නිශාන්ත (පොලිස් සැරයන් 31118),
සිද්ධික් (පොලිස් කොස්තාපල් 5004)
කරුණාතිලක (පොලිස් සැරයන් 30342)

යන අයගෙ පෞද්ගලික මුදලින් පැමිණිලිකාරියට රුපියල් 475000.00ක මුදලක් ගෙවන්න නියම වෙලා. ඊට අමතරව රජයෙන් (ජනතාවගෙ මුදලින්) රුපියල් 250000.00 ක මුදලක් ගෙවන්නටත් නියෝග කෙරුණා.

මෙහි වැදගත්ම කරුණු ඒවා නොවෙයි.

පොලිස් අත්අඩංගුවට පත් වෙන සැකකරුවන් මෙලෙස ඝාතනයට ලක් වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය දැඩි අවධානය යොමු කරන බව මේ තීන්දුව හරහා පෙන්නුම් කරලා තිබීම.

පොලිසියේ මේ එකම පිටපතකට ලියන මගඩි නාටකය සමාජ කතාබහට ලක් වෙන්නෙ සෑහෙන කාලෙක ඉඳන්. අඩු තරමෙ ඒ පිටපත වෙනස් කරන්න තරම් වත් වෑයමක් නොගෙන මිනිස්සු මරා දමන්න පොලිසිය නිර්භය වුණ ඉතිහාසයක් අපට තියනවා. ( අත්අඩංගුවට ගන්න සැකකරුවන්ගෙ ජීවිතවල වගකීම අදාළ පොලිසියෙ ස්ථානාධිපතිවරයාට පැවරෙනවා. ඒ නිසා අත්අඩංගුවෙදි සිදුවන ඝාතනවල වගකීම පොලිසිය නිසැකව බාරගත යුතු යි.)

උක්ත තීන්දුවෙ සඳහන් වෙන වැදගත් කරුණු මොනවද?

අදාළ සිද්ධිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),13(4) යන විධිවිධාන මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීරණය කෙරුණ එක වැදගත්ම කාරණය.

දෙවැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් විවිධ විමර්ශන සඳහා රැගෙන යාමේදී පළා යාමට තැත් කළ බැවින් පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කොට සියලුම පොලිස් නිලධාරීන් වෙත නිකුත් කර එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය පොලිස්පතිවරයාට නියෝග කරලා තියන එක.

උක්ත සිදුවීමේදී මාංචු දමා සිටි සැකකරු සමඟ ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් 8 දෙනෙකු සිටියදී පළායෑමට තැත් කළ අතර, ආත්මාරක්ෂාවට වෙඩි පහර දෙකක් එල්ල කර ඇති බව කියැවුණත් එය බරපතළ සැකයකට බඳුන් වන්නක් බවත් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබුවා යන්න කිසිසේත් පිළිගත නොහැකි බවත් තීන්දුවේ තවදුරටත් සඳහන් වෙනවා.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ඊට ගරු කොට ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ද එය ප්‍රතික්ෂේප කිරීමට හෝ කප්පාදු කිරීමට ඔවුන්ට නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුවේ සඳහන් කරනවා.

මිනීමැරීමට ලයිසන් ඇති චණ්ඩින් ලෙස පොලිසියේ හැසිරීම සමාජයේ කොයි කවුරුත් දන්නා කාරණයක්. සමාජයේ අනුකම්පාවද නොලැබෙන බැවින් පාතාල , කුඩු වැනි ලේබල් ගැසූ සැකකරුවන් සෑහෙන ගණනක් මේ ආකාරයෙන් අවසන් ගමන් ගිය බවත් කවුරුත් දන්නවා. ත්‍රස්ත මර්දන පණතින් අත්අඩංගුවට ගෙන අඩවසරකට ආසන්න කාලයක් බන්ධන අඩස්සියෙ තැබුව අන්තරේ කැඳවුම්කරුත් ඇප පිට ඇවිත් මාධ්‍යයට කිව්වෙ, පොලිසිය තමන්වත් රැගෙන ගිහින් එයාලගෙ මගඩි නාටකය පෙරහුරු කළා කියලා.

ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රමුඛ නීතිවේදීන් පිරිසක් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටිය මේ නඩුවේ තීන්දුව බොහෝ සාකච්ඡාවට ප්‍රසිද්ධියට බඳුන් වෙන්න ඕන එකක්. ඒ වගෙ ම මේ මගඩි නාටකය මේ තීන්දුවෙන් පසුව හරි අවසන් කරන්න රටක් සමාජයක් විදිහට පෙරමුණ ගන්න ඕන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles