රිලා කතා

සඳුන් ප්‍රියංකර විතානගේ

චීනෙට රිලව් ලක්ෂයක් පැටවීමක් ගැන හාහෝවක් එක්ක රිලා ප්‍රශ්නය සෝෂල් මීඩියාගත වෙලා. සුනඛ ප්‍රශ්නය ඇතුළුව මේ ප්‍රශ්නය ගැන අපි කාලයක් තිස්සෙ ලියලා තියනවා. Victor Ivan මහත්මයා මේ ගැන කාලෙක ඉඳන් කතා කරමින් ඉන්නවා. (මේ කිසිම දේකට හරිහමං ජාතික ප්‍රතිපත්තියක් නැතිකමින් ජලභීතිකාවෙන් මිනිසුන් වැඩි වශයෙන් ඉදිරියෙදි මිය යන්නට නියමිත යි. ජලභීතිකා එන්නත් රෝහල්වල නැති බවක් ආරංචියි)

මේ රිලා ප්‍රශ්නයට අදාළව සිත් ගන්නාසුලු සටහනක් Mahesh Hapugoda සහෝදරයා ලියලා තිබුණා. ඒකෙ ඔහු මතුකරන වැදගත් ම පොයින්ට් එක තමයි, උන්ගෙ ස්මාට් කමයි කුතුහලයයි කියන කරුණු නිසාවෙන් අනෙක් සතුන්ට වඩා රිලවුන්ගෙන් වන හානිය වැඩියි කියන එක. ඒ එක්කම මට මතක් වුණේ වලව කලාපයෙ ගොවි බිමක දි දකින්න ලැබුණ දෙයක්.

බණ්ඩක්කා සහ වම්බටු වගාවක තැන් තැන්වල, ඒ බෝග විවිධ ප්‍රමාණයෙන් කඩා බිම ගොඩ ගසා තිබුණා. අස්වනු නෙළීමට නුසුදුසු ළපටි ඒවායෙ සිට මෝරපු ඒවා දක්වා විවිධ ප්‍රමාණයේ වම්බටු සහ බණ්ඩක්කා ගොඩවල් වගාබිමේ තැන් තැන්වල. හරියට ම මිනිසුන් ඒවා නෙළන ආකාරයටම නෙළලා බිම ගොඩ ගසලා තිබුණා. ගොවි මහත්තයෙක්ගෙන් ඇහුවම කිව්වෙ මේ රිලවුන්ගේ වැඩ බව. ඇත්තටම ඔහු කීවත් එකපාරටම විශ්වාස කරන්නට බැරි තරම් ඒ්‍ වැඩේ ස්මාට්. අනෙක් වන සතුන්ට සාපේක්ෂව මේ තාලෙ හින්දා රිලවගෙන් වෙන හානිය වැඩියි. බණ්ඩාරවෙල ඇටම්පිටිය පැත්තෙ ගිය වෙලාවක දැනගන්න ලැබුණා ගෙවල්වලට කඩා වැදිලා විදුලි උපකරණ, ඇන්ටනා විනාශ කිරීම ගැන. Gamini Ekanayaka මහත්මයා ලියලා තිබ්බා පෞද්ගලිකව ඔහුට වුණ හානි. බොහෝ පළාත්වල රිලව් නිසා පොල් අස්වැන්න 90% පහළ වැටිලා. අර කුතුහලය, ක්‍රීඩාශීලිකම සහ ස්මාට්කම නිසා කුරුම්බා ඇට්ටියක්වත් නොතියා සියල්ල විනාශ කරනවා.

මෙහි ඇති දරුණුම කාරණාව තමා මේ වෙද්දි ශ්‍රී ලංකාවේ රිලව් ගහණය ලක්ෂ 30කට වඩා වැඩි කියලා දැනගන්න ලැබීම. කොන්දේසි විරහිතව මේ රිලා රංචු වර්ධනය වෙනවා සීමාවක් නෑ. මම හිතන විදිහට මේ සතුන් විලෝපිකයන්ගෙන් පාලනය වෙන්නෙත් නෑ.

ලංකාවෙ එළවළු අස්වැන්නෙන් 40%ක් විතර සතුන් නිසා විනාශ වෙනවා කියන එක ගත්තම මේක කිසිසේත් සරල දෙයක් නෙවෙයි. ඉතා පැහැදිලිව මේ ගහණයන් පාලනය කරන්න ඕන කියන එකේ විවාදයක් නෑ. ආන්තික සත්ව ප්‍රේමීන්ට මේ සඳහා දෙන්න පුළුවන් ප්‍රායෝගික විසඳුමකුත් නෑ.

හාවන්, ඔටුවන්, මුවන් ආදී සතුන්ගෙ අසීමාන්තික ගහණයන් පාලනය කරන්න ලෝකෙ විවිධ රටවල් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා වැඩ කරන හැටි දකින්නට පුළුවන් වුණත් කිසිදු දේකට පාහේ ජාතික ප්‍රතිපත්තියක් නැති රටක ඒවා විහිළු.

අනෙක් අතට මේ ගහණය පාලනය කරන්න ජාතික වැඩපිළිවෙලක් හැදුවොත් ලෝකෝත්තර සෙට් එක මරාගෙන මැරෙන්න විරුද්ධ වෙනවා. ඒ කියන්නෙ ආගමික සංස්ථාවන්. ක්‍රියාමාර්ගයෙ අවසාන හරියෙදි ඒක එන්න නියමිත නිසා ඡන්ද ගොඩවල් බලාගෙන දේශපාලන කරන කිසිම පක්ෂයක් කණ්ඩායමක් මේ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න අත ගහන්න බයයි.

ඉතින් වෙන්නෙ, රිලව් රට පටවනව වගේ අමුතු සංසිද්ධි ගැන අහන්න ලැබෙන එක විතරයි. ඔඩු දුවා තිබෙන ජාතික ප්‍රශ්නවලට විසඳුමක් නොලැබෙනකොට ඒකෙ වෙළඳ වටිනාකම ට්‍රයි කරන්න අසල්වාසී කවුරුන් හෝ උත්සාහ කරන එක අමුතු දෙයක් නෙවෙයි. ලක්ෂ 30ක් ඉන්න රිලා ගහණය පාලනය කරන්න රාජ්‍යයක් විදිහට ලෞකික විසඳුමක් ඕන. මොනරු සහ අනෙක් වගා හානිකාරක සත්තු ගැනත් එහෙමම තමා. මේ දේවල් දිහා විද්‍යාත්මක විශ්ලේෂණයක් කරලා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරනකම් මේවායෙන් පීඩා විඳින්නෙත් රටේ සාතිශය බහුතරයක් සාමාන්‍ය ජනයාම තමයි. ඒ විතරක් නෙවෙයි, අධිකව ගහණය වන සතුන්ගෙන් අනික් සත්ව විශේෂවලට පවා සිදුවෙන්නෙ විනාශයක්. අවසානයෙදි ඛේදවාචක විදිහට තියෙන මේ ප්‍රශ්න අවසන් වෙන්නෙ විගඩම් වෙලා. නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් විසඳගන්නත් විදේශාධාර ඕන කියන්නෙ ඉතින් අමුතුම ලෙවෙල් එක්ක තමා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles