රෝයල් පාක් ජනාධිපති සමාව අර්බුදයට යන ලකුණු?

2005 වසරේ දී රාජගිරිය රෝයල් පාක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ පිය ගැට පෙළ මතදී ඉවොන් ජොන්සන් නමැති තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූඩ් ශ්‍රමන්ත ඇන්තනි ජයමහ නම් තරුණයෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා. එහිදී හෙළිදරව් වූ ආකාරයට එකී තරුණිය ඝාතනය කර තිබෙන්නේ, ඇගේ ම ඇඳුමකින් ගෙල සිරකර, හිස පොළොවේ ගැසීමෙන්.

කොළඹ මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙකී සැකකරුට 2012 වසරේ දී වසර 12ක සිර දඬුවමක් නියම කෙරුණා. තීන්දුවට එරෙහිව ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී සිදු වූයේ අභියාචනාධිකරණයෙන් විත්තිකරුට මරණ දණ්ඩනය නියම කිරීමයි. මෙය ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ද ඓතිහාසික තීන්දුවක් ලෙස සැලකෙනවා. ඒ මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයට ද මරණ දඬුවම ලබා දීමට හැකි බව පෙන්වන තීන්දුවක් නිසාවෙන්. මෙය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තහවුරු කරනු ලැබුවා.

මෙසේ මරණ දණ්ඩනය ලැබ බන්ධනාගාරගත කර සිටි ජූඩ් ශ්‍රමන්තට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබා දී නිදහස් කරනු ලැබුවා.

මේ දිනවල නැවතත් පෙර කී ඝාතනය සහ ජනාධිපති සමාව සම්බන්ධයෙන් කතිකාවක් මතුව තිබෙනවා. ඒ ලබා දුන් ජනාධිපති සමාවට එරෙහිව කාන්තා එකමුතුව නම් සංවිධානයක් විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ සලකා බැලීමේ දී.

කෙසේ වෙතත්, අධිකරණයේ දී හෙළිදරව් වී ඇත්තේ ගිහි-පැවිදි බොහෝ දෙනෙක් ඔහුට ජනාධිපති සමාව දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි. එසේ ම මෙවැනි ජනාධිපති සමාවක් ලබා දීමේදී ලබා දිය යුතු උපදෙස් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී නොමැති බවත්, කැඳවිය යුතු ව ඇති මහාධිකරණ විනිසුරුවරයාගේ වාර්තාව කැඳවා නොමැති බවත් හෙළිදරව් වී තිබෙනවා. වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මෙම ජනාධිපති සමාව ලබා දීමේ දී ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව කටයුතු කර නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles