අධික උණුසුම: ඉන්දියාවේ 170ක් මරුට

අසල්වැසි ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පවතින අධික උණුසුම් තත්වය නිසා විශාල වශයෙන් මරණ සිදුවන බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරනවා. මේ වන විට අධික තාපය සම්බන්ධ රෝගාබාධ හේතුවෙන් මිනිසුන් 170ක් පමණ මියගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

උත්තර් ප්‍රදේශ්හි, පසුගිය දින කිහිපය තුළ 119 දෙනෙක් තාපය ආශ්‍රිත රෝගාබාධවලින් මිය ගොස් ඇති අතර අසල්වැසි බිහාර් හි පුද්ගලයින් 47 දෙනෙකු එසේ මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සහ සෞඛ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය සඳුදා වාර්තා කරනු ලැබුවා.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ වැඩිවෙන උණුසුම සම්බන්ධයෙන් පසුගිය දින ගණනාවේදී ම නිවේදන නිකුත් කිරීමට තමන්ට සිදු වූ බවයි. මෙම නිවේදන සිදු කරන්නේ උෂ්ණත්වය ඉතා වැඩි මට්ටමට ළඟා වූ පසුවයි. මේ දිනවල එම ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා යන බවයි වාර්තා වන්නේ. පුවත් ඒජන්සි වාර්තා පෙන්වා දෙන්නේ උෂ්ණත්වය නිසාවෙන් ඇතිවන ආබාධ නිසා රෝගීන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles