අධිකරණ අපහාස විභාගයට පහළ උසාවියට බලය නෑ:පෙත්සමක්

මාධ්‍ය සාකච්ඡාවකදී අධිකරණයට අපහාසයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, අධිකරණයට අපහාසයක් වීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් නොමැති බවත් එසේ හෙයින් කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය බල රහිත කරන ලෙසත් ඉල්ලමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා.

නීතිඥ මනුෂිකා කුරේ මෙනවිය මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති එම ප්‍රතිශෝධන පෙත්සම මගින් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සහ එම නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කරන විමර්ශන නතර කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ඇති බව සඳහන්.

එම මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ මරදාන පොලිස් බල ප්‍රදේශයේ බවත්, මරදාන පොලිස් බල ප්‍රදේශය අයත් වන්නේ මාළිගාකන්ද අධිකරණ බල ප්‍රදේශයට බවත්, ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් එම ප්‍රතිශෝධන පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

නතාෂා එදිරිසූරිය අයි.සී.සී.පී.ආර් පණත අනුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, සිවිල් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු, සිවිල් ක්‍රියාධර විදර්ශන කන්නන්ගර සහ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර යන පිරිස විසින් අධිකරණයට අපහාස කළැයි කියමින් සිංහල රාවය සංවිධානය නියෝජනය කරමින් කරුණු දැක්වූ නීතිඥවරයාගේ ඉල්ලීමක් අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජුනි 07 වැනිදා සහ ජුනි 21 වැනිදා මෙම නියෝගය කළා.

අධිකරණ සංවිධාන පණත අනුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නොවන අධිකරණයට අපහාස කිරීමක් ගැන විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණයට අපහාස කිරීම ගැන දඬුවම් පැමිණවිය හැක්කේ අභියාචනාධිකරණයට සහ ශ්‍රෙෂ්ඨාධ්කරණයට පමණක් බවත්, එවැනි සිද්ධියක් ගැන විමර්ශනය කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් තරිඳු ජයවර්ධන ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles