හමුදා විහාරයට එරෙහිව උතුරේ උණුසුම් තත්වයක්!

යාපනේ, වලිකාමම් උතුර, තෛට්ටි ප්‍රදේශයේ වැසියන්ගේ ඉඩම් නීතිවිරෝධී ලෙස අත්පත් කරගනිමින් ආක්‍රමණකාරී ලෙස යුද හමුදාව විසින් ඉදිකරන ලද තිස්ස විහාරය ඉවත් කරගන්නා ලෙසත්, එම පෞද්ගලික ඉඩම් ඒවායේ උරුම හිමිකරුවන් වෙත ලබා දිය යුතු බවත් පවසමින් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයේ සිව්වන අදියර පසුගිය ඉරිදා පස්වරු 3 ට ආරම්භ වී සඳුදා පස්වරු 5 දක්වා පැවැත්විණි.

පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් විහාරයේ විවිධ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වන අතරතුර මෙම විරෝධතාව පැවැත්විණි.  

පසුගිය  අවස්ථා කිහිපයකදීම විහාරස්ථානය ඉදිරිපිට  විරෝධතාවයන් පැවැත්වුණු පෞද්ගලික ඉඩමේ හිමිකරුවා පලාලි පොලිසිය වෙත කැඳවා ඔහුට නොයෙකුත් තර්ජන එල්ල කිරීම හේතුවෙන් මෙම විරෝධතාව විහාරය පිහිටි මාර්ගයෙන් පිටත වූ පෞද්ගලික ඉඩමක් තුළ දී ආරම්භ විය.

දෙවන දිනය වූ සඳුදා උදෑසන සිට මෙම විරෝධතාව තියුණු අන්දමින් පැවැත්වුනු අතර මාර්ගයේ දකුණු පසින් විහාරය වෙත හමුදා වාහන ගමන් කරනු දුටු විරෝධතාකරුවන් පිරිසක් උදේ 10.30ට පමණ මාර්ගය වෙත පැමිණ නව අරගල භූමියක් නිර්මාණය කරගෙන තිබේ.

මෙහිදී පලාලි පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ විරෝධතාකරුවන්ට තර්ජනය කිරීම නිසා පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. විරෝධතාකරුවන් උස් හඬින් වාද විවාද කරද්දී පොලිසිය එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර ඉන්පසුව ස්ථාන දෙකෙහිම විරෝධතාව පැවැත්විණි.

මෙලෙස කණ්ඩායම් දෙකක් ලෙස ස්ථාන දෙකක මෙම විරෝධතාව පවත්වාගෙන යද්දී විහාරස්ථානය වෙත ගමන් කරන බැතිමතුන්ගේ අඩුවීමක් ද නිරීක්ෂණය කළ හැකි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles