ජනාධිපතිවරයා ප්‍රංශයේදී කළ සාකච්ඡාව සිංහලෙන්

Q – ඔබ ජනාධිපති වුණේ නිදහසින් පස්සෙ ඔබේ රටේ ඉතා අර්බුදකාරී අවස්ථාවක. රටේ ආර්ථික වියවුල විසින් වීදි උද්ගෝෂණ අවුලවනු ලැබුවා. ණය ගෙවීම් පැහැර හැරුණා. රොයිටර් පවසන පරිදි ඔබට ඩොලර් මිලියන 700ක සහනාධාරයක් ලැබෙනවා ලෝක බැංකුවෙන් අයවැය සහනාධාර ලෙස. ඔබට ස්ථිර කළ හැකි ද එය සිදුවෙන බවට?

A – අපි එම මුදල් ලෝක බැංකුවෙන් අපේක්ෂා කරනවා. අදාළ පූරණය කිරීම් කර ඇති අතර ඒ අනුව ලෝක බැංකුවේ උදව් ලැබීමට අපි සුදුසුකම් සපුරා තිබෙනවා. එය අත්‍යාවශ්‍ය අතර එය ආර්ථිකය ශක්තිමත්වීමට උපකාරී වෙනවා.

Q – ඩොලර් මිලියන 700ක් යනු ඔබ අපේක්ෂා කරන මුදල ද? නැත්නම් ඊට වැඩි ද?

A – මම බලාපොරොත්තු වෙනවා ඔවුන් එය වැඩි කරනු ඇතැයි කියා. ඒත් මැසිවිලි කියන්න යන්නේ නැහැ.

Q – ඔබට ආර්ථිකමය ඔක්සිජන් අවශ්‍යයි. ඔබේ දේශීය ණය බිලියන 42ක්. පැරිස් කණ්ඩායම සහ චීනය ආදී ණය හිමියන් සමඟ ඔබ ප්‍රගතියක් අත්කරගනිමින් සිටිනවාද?

A – විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කෙරන අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කැබිනට් මණ්ඩලයට බදාදා ඉදිරිපත් කෙරෙනවා. සති අන්තයේ එය අවසන් කෙරෙනවා. රාජ්‍ය මූල්‍ය කාරක සභාවට පෙර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සෙනසුරාදා ඉරිදා විවාදයට ලක් කර අනුමත කර මූල්‍ය හිමියන් සමග ඉදිරි කටයුතු සිදු කරනවා.

Q – සැලසුම කුමක් ද? ණය අඩු කිරීම හෝ කල් දැමීම ද? නැත්නම් දෙකේම එකතුවක්ද?

A – ආපසු ගෙවීම සඳහා දිගු කාලයක් ලබා දීම ප්‍රශ්නයක් වන අතර ගෙවිය යුතු මුදලෙහි යම් ආකාරයක අඩු කිරීමක් ද අප බලාපොරොත්තු වනවා. මේ කරුණු සාකච්ඡා කෙරුණා. බොහෝ විට අවසන් ලියවිල්ල ඉරිදා හෝ සඳුදා වන විට ලැබෙනවා ඇති.

Q – ඔබ චීනය සහ අනෙකුත් ණය හිමියන් සමග ඔබ ප්‍රගතියක් ලබා තිබෙනවා ද?

A – චීනය පොදු වේදිකාවට නොපැමිණියා වුණත් සියලු තොරතුරු ඔවුන් සමඟ බෙදාගන්නවා. නිල වශයෙන් ඔවුන් වේදිකාවේ නොසිටීම පමණයි.

Q – පැරීසියේදී බටහිර ණය හිමියන් සහ චීනය යන දෙපිරිසම සමග සැම්බියාවේ ණය ගැන ගිවිසුමක් ඇති වුණා. මෙය ඔබේ රටට හොඳ පෙරනිමිත්තක් ද? චීනය සහ අනෙක් ණය හිමියන් සමඟ එකඟතාවකට ඒමට හැකි වෙයිද?

A – චීනය අනෙක් රටවල් සමඟ එක් වෙන බව අපට විශ්වාසයි. සැම්බියාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් වුණා. එහිදී චීනය සැම්බියාව සම්බන්ධයෙන් නිරාකරණයකට ඒම හොඳ දෙයක්. මම ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදීත් අදත් චීන අගමැතිතුමාගේ කතාවට සවන් දුන්නා. ප්‍රථම වතාවට චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සමස්ත ගැටලුව සම්බන්ධයෙන් සිය ධනාත්මක ප්‍රවේශය පෙන්නුම් කර තිබෙනවා.

Q – චීනය ගැන කතා කරද්දි, ලංකාවේ චීන කටයුතු ගැන අනුමානයන් පළ වෙනවා. ඇමරිකන් පුවත්පත් පවසන්නේ එය හමුදා කටයුතු වෙනුවෙන් යොදාගනී යනුවෙන්. එය ඇත්තක්ද?

A – වසර 1500ක් පමණ චීන ජාතිකයන් වාසය කරලා තියනවා. මෙතෙක් චීන හමුදා කඳවුරක් නෑ. හම්බන්තොට වරාය ගැන එසේ බොහෝ අනුමාන පවතිනවා. එය චීනයට ලබා දුන්නද ආරක්ෂාව පවත්වාගෙන යන්නේ ශ්‍රී ලංකාව විසින්. දකුණු නාවික මූලස්ථානය හම්බන්තොටට ගෙන යනවා. අපේ එක් බලකායක් හම්බන්තොට ස්ථානගත කොට තිබෙනවා. හම්බන්තොට මෙහෙයුම් පවත්වාගෙන යන සමාගම ම කොළඹ වරායේද පර්යන්තයක කටයුතු කරනවා. එහෙත් ඊට මෙවැනි චෝදනා නැගෙන්නේ නැහැ. මැසිවිලි නැගන්නේ හම්බන්තොට ගැන පමණයි.

අපට චීනය සමඟ යුද ගිවිසුම් නැහැ. ඔවුන් සමඟ හමුදා ගිවිසුමක් ද නැහැ. මම හිතන්නෙ නැහැ චීනයට එවැන්නක් අවශ්‍ය වෙයි කියා. අප මධ්‍යස්ථ රටක්. අවධාරණය කළ යුතු යමක් මෙහි තිබෙනවා. ඉන්දියාවට එරෙහි මූලස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව යොදා ගැනීමට අප ඉඩ දෙන්නේ නැහැ.

Q – ශ්‍රී ලංකා දේශපාලනයේ ඇතැම් පිරිස් ආර්ථික පුනර්ජීවනයට බාධා කිරීමට සක්‍රීයව ක්‍රියා කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් රට විකුණන බව පවසමින් ජනතාව නොමඟ යවන බව ඔබ පසුගියදා ප්‍රකාශ කළා.

A – ඔව්. එහෙම කියන පිරිසක් ඉන්නවා.

Q – ඔවුන් කවුද?

A – විරුද්ධ පක්ෂයේ කොටසක් සහ වෙනත් කණ්ඩායම් එසේ කියනවා. මම අපේ ජයග්‍රහණ පෙන්වා දෙනවා. අප ජයග්‍රහණ ලබා ගැනීම රට විකණීමක් ද? අප බටහිර සහ පෙරදිග ආර්ථිකයන් සමග වැඩ කිරීම රට විකිණීමක් නොවේ. එයින් අදහස් වෙන්නෙ රට දියුණු කිරීම. මම සියලුම පක්ෂවලට කියා සිටියෙ මේ බරපතළ අවස්ථාවේ එකතු වී වැඩ කරමු කියා. එවිට ඊළඟ මැතිවරණයේ දී ඔවුන්ට ඡන්දදායකයන්ට කියන්න පුළුවන් මේ ජයග්‍රහණයේ කොටස්කරුවන් බව. විකල්පයක් යෝජනා නොකර පැරණි ක්‍රමයටම විවේචනය කිරීමෙන් ඔබේ ඡන්දදායකයන් ඔබව ප්‍රතික්ෂේප කරනවා ඇති. අප සියලු දෙනාටම එකතු වී වැඩ කරන්න පුළුවන් අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගැනීම ඉතා හොඳ දෙයක්.

Q – කැබිනට් අනුමැතිය ලැබූ යෝජනාවක් වන ද.අප්‍රිකානු මාදිලියේ සත්‍ය හා ප්‍රතිසංවිධාන කොමිසම පිහිටුවාවි ද? දෙමළ ජනයා යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා?

A – සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමට සියලු දෙනා එකඟ වී තිබෙනවා. එය කලකට පෙර කෙටුම්පත් කරන ලද එය ජිනීවා මානව හිමිකම් කොමිසම ද ගෙන ඇති එක් කොන්දේසියක්. අදත් මම ජනාධිපති රැම්පෝසා එක්ක කොමිසම ගැන කතා කළා ඒ අය ඇවිත් අපිට උදව් කරන්න කියලා. අපට අවශ්‍ය වන්නේ එයයි. මම එය අගෝස්තුවේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි ලේකම් කාර්යාලය පිහිටුවීමට සැලසුම් සකස් කරමින් සිටිනවා. අපට දකුණු අප්‍රිකාවේ සහය අවශ්‍යයි. විදේශ නිරීක්ෂකයන් ද අප දක්වා ඇති රාමුව තුළ හිඳිමින් නිරීක්ෂණය කරනු ඇති.

Q – ඔබ එය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන්නේ කවදාද?

A – නීති සම්පාදනය වූ පසු අගෝස්තුවේ දී

Q – දෙමළ ජනයාට ස්වයං පාලනයක් ලබා දීම ගැනත් සාකච්ඡා වෙනවා. ඒ ගැන මොකද?

A – විවිධ කොටස්වලට අයත් දෙමළ ජනයා රටේ විවිධ ප්‍රදේශවල වාසය කරනවා. උතුරු-නැගෙනහිර දෙමළ අය ඉන්නවා. කඳුකරයේ දෙමළ ජනයා වාසය කරනවා, ඉන්දියාවේ මූලාරම්භය සහිත අය. අප බොහෝ ගැටලු නිරාකරණය කර තිබෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙමළ ජනයාට ඡන්ද අයිතිය ලබා දුන් පසු ඔවුන් බහුතරය වී සිංහල බහුතරය සුළුතරය බවට පත්ව තිබෙනවා. මා දන්නා බොහෝ රටවල එසේ වී නැහැ. නමුත් ඒ ප්‍රදේශවල දෙමළ ජනයාගේ ආර්ථික සහ සමාජීය තත්වය අපි ඉහළ නැංවිය යුතු යි. ඔවුන් පාලනයට සම්බන්ධ වී කැබිනට් මණ්ඩල සාමාජිකයන්වද සිටිනවා. උතුරු සම්බන්ධයෙන් ගත් කළ දෙමළ පක්ෂ නායකයන් සහ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාවේ ඇති බලය බෙදීමේ පැකේජය ක්‍රියාත්මක කරන ලෙස. මධ්‍යම රජය ඊට මැදිහත් නොවෙන බව. අප ඒ සහතිකය ලබා දී නීති සම්පාදනය කරන්නට සූදානම්.

ඊට අමතරව තවත් බලතල කිහිපයක් ඉල්ලා තිබෙනවා. උතුරට විතරක් නෙවෙයි අනෙක් පළාත් 9ට. ඊට සෙසු ප්‍රදේශවල හිටපු ප්‍රධාන ඇමැතිවරුන් කිහිප දෙනකුගේම සහය ලැබෙනවා. අපි සාකච්ඡා කරනවා. පළාත් සභා විෂය පථයට එන තවත් විෂයයන් කිහිපයක් හඳුනාගන්න පුළුවන් කියලා මම හිතනවා.

Q – 88-89 භීෂණ යුගයේ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට ඔබේ පූර්වගාමියා බාධා කිරීම ගැන දින කිහිපයකට පෙර වාර්තාවක් පළ වුණා. අන් අයගේ සහ ඔහුගේ භූමිකා ගැන විමර්ශනයක් කරනවා ද? නැතිනම් මේ පිටුව පෙරළීමට ඇති එකම මාර්ගය සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම පමණ ද?

A – ක්‍රියාත්මක කිරීමට නියමිත සත්‍ය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම ඉදිරියට ඕනෑම ආකාරයක චෝදනාවක් එනවා නම් මම කැමතියි. නමුත් අප සමාන්තර පරීක්ෂණයක් කරන්නට යන්නේ නම් කොමිසමේ බලය හෑල්ලුවට ලක් වෙනවා ඇති. ඕනෑම අයෙකුට ඕනෑම පැමිණිල්ලක් රැගෙන කොමිසම වෙත යා හැකියි. ඔවුන්ට පුළුවන් හිටපු ජනාධිපතිවරයාට හෝ වෙනත් අයෙකුට. අපට විදෙස් නිරීක්ෂකයන් සිටින නිසා වැසැංගීමක් ගැන චෝදනා කළ නොහැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles