අංගොඩදී මියගිය රෝගියාට පහර දෙන වීඩියෝ අතුරුදන්!

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසික රෝගියෙකුට එම රෝහලේ සුළු සේවකයන් පහරදී ඝාතනය කළ බව කියන සිදුවීමේ CCTV දර්ශන ඇතුළත් පරිගණකය අධිකරණ වෛද්‍ය නිලධාරියා සතුව තිබිය දී අතුරුදහන්ව ඇතැයි ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී රෝගියාගේ නීතිඥයින් පෙන්වා දුන්නා.

මෙම පරීක්ෂණයේ සාක්ෂි යටගැසීමක් දැ යි සැකයක් ඇති බවද ඔවුන් පවසනවා. පොලිස් භාරයට ගෙන ඇති සාක්ෂිද මුල්ලේරියාව පොලිසිය විසින් මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නැහැ.

අලුයම් කාලයේ සේවක පිරිස විසින් මෙම රෝගියාට පහර දුන් බවත් රාත්‍රි 10 තෙක් ප්‍රතිකාර ලබා දී නොමැති බවත් කරුණු දැක්වුණා.

එම රෝගියා නේවාසිකව එහි ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක්. සමනලතැන්න, වටරැක, පාදුක්ක ප්‍රදේශයේ අයෙක් වන ඔහුගේ ඥාතීන් මේ මරණය සැකසහිත බව මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට පත් වුණා.

ජූලි මස 25 වැනිදා සිදු වූ මෙම මරණයට හේතුව මිය ගිය රෝගියා විසින් මෙම සේවකයන්ට වතුර ගසා තිබීම බවද මෙහිදී හෙළිව තිබෙනවා.

උතුරු මුල්ලේරියාව අංගොඩ ලිපිනයේ පදිංචි කේ.ඒ. ඉසුරු උෂාන්ත නයනජිත්, කළුතර දකුණ සොයිසා මාවත පදිංචි ආර්.ඒ. ඉෂාන් දුලංජන සෙනෙවිරත්න, රාජගිරිය කලපලුවාවේ පදිංචි එම්.එල්.අසෝක කුමාර, පානදුර ඒ. නලින්ද සිල්වා යන රෝහල් සේවකයන් මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles