වී තොග ඇත්තේ මෙට්‍රික් ටොන් ලක්ෂ 2යි : රට ආහාර අර්බුදයක?

නියඟය නිසා මහ කන්නයේ අස්වනු අවිනිශ්චිත තත්වයක පැවතීම සහ යල කන්නය සම්බන්ධයෙන් ද මේ වන විට පැන නැගී ඇති තත්වය හේතුවෙන් මෙරට වී සංචිත අර්බුදයට ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශ වාර්තා හෙළි කරනවා.

වී මෙට්‍රික් ටොන් 215,672 ක සංචිතයක් පමණක් මේ වන විට අමාත්‍යංශය සතුව ඇති බවයි දැනගන්නට ඇත්තේ.

ළඟදීම ආහාර හිඟයක් ඇතිවේ යැයි බියෙන් ලෝකයේ රටවල් කිහිපයක් මේ වන විට තම ආහාර සංචිත ශක්තිමත් කරමින් සිටියද, ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු සංචිතයක් නොමැති බව වී අලෙවි මණ්ඩල ආරංචි මාර්ග තහවුරු කළා. මේ වසරේ (2023) යල කන්නයේ දී මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 215,672 ක් පමණක් වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන බවයි දැනගන්නට ඇත්තේ.

පවතින නියඟය හේතුවෙන් මේ වන විටත් කුඹුරු අක්කර 50,000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, එම ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

කෙසේ වෙතත්, ඉදිරියේ දී ආහාර වෙනුවෙන් සහල් ආනයනය කිරීමට රජයට සිදුවිය හැකි බව පෙන්වා දෙන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වැඩිදුරටත් පවසන්නේ කලාපයේ බොහෝ රටවල් (ඉන්දියාවද ඇතුළුව) මේ වන විට සහල් අපනයනය නවත්වා ඇති බවයි. දැඩි ආර්ථික අහේනියකින් ගොඩ ඒමට වෑයම් කරන අතර මේ ප්‍රශ්නයද රටට අහිතකර ලෙස බලපානු ඇති බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles