ශානි අබේසේකර නිදහස් කිරීම සහ තවත් කතා!

කප්පම් ගැනීම සඳහා කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා ඝාතනය කළැයි කුප්‍රකට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව නඩු පැවරුණු අතර එයින් වරදකරු වූ ඔහුට 2015 වසරේදී මරණ දණ්ඩනය නියම වුණා. මෙම පැහැර ගැනීම සිදු කරන ලද්දේ සුදු වෑන් භීතිකාව රජ කරමින් තිබූ 2013 වසරේ දී යි. එහිදී වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට ගිය එවක රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකරට වාස් ගුණවර්ධන විසින් මරණ තර්ජන එල්ල කළ අතර එයට ද නඩු පවරනු ලැබ ඔහු වරදකරු වී වසර 5කට සිරදඬුවම් නියම වුණා. පසුව සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මෙහෙයවූ නඩුවෙන් 2015 නොවැම්බර් 27 වැනි දින වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණා.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට මරණ දඬුවම නියම වූ පළමු අවස්ථාව ද මෙය වූවා.

කෙසේ වෙතත් 2020 වසරේ අගෝස්තුවේ දී වාස් ගුණවර්ධනගේ නඩුවට අදාළ බොරු සාක්ෂි නිර්මාණය කළේ යැ යි චෝදනා කොට රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු තිදෙනෙක් 2021 වසරේදී අත්අඩංගුවට ගැනුණු අතර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුට එරෙහිව නඩු පවරනු ලැබුවා. ඔවුන් රක්ෂිත බන්ධනාගාරයෙන් ඇප ලද්දේ මාස 10කට පසුවයි. පසුව වැඩ තහනමකට ලක් වුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩ තහනමට ලක්ව සිටියදීම විශ්‍රාම ගනු ලැබුවා.

අද දින එනම් වසර 3කට පමණ පසු ශානි අබේසේකර ඇතුළු සිව් දෙනාට අදාළව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා එල්ල කරමින් පැවති නඩුවෙන් ඔවුන් සිව් දෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(25) නිදොස්කොට නිදහස් කෙරුණා. ඒ අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපති අධිකරණයට කළ දැනුම් දීමෙන් පසුවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බිහි වුණු විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ලෙස ශානි අබේසේකර සැලකෙනවා. ශානිගේ අත්අඩංගුවට ගැනීම හා බැඳුණු සියලු සිදුවීම් ගෝඨාභය ජනාධිපතිවරයා බවට පත් වු විගස සිදුවීමද විශේෂත්වයක්. ශානි අබේසේකරගේ පරීක්ෂණ කටයුතු නිසාවෙන් බොහෝ අපරාධ හෙළිදරව් වූ අතර ඔහුගෙන් පළිගැනීම වෙනුවෙන් බොහෝ දෙනා මාන බලමින් සිටියා. දැන් පෙනී යන කරුණු අනුව ශානි අබේසේකරගෙන් පළිගැනීමට දැරූ වෑයමක් මෙලෙස ව්‍යර්ථ වී ඇතිදැයි දේශපාලන විශ්ලේෂකයින් සැක පළ කරනවා. ඔහුගේ වෘත්තීය ජීවිතය විනාශ වී යෑම මෙරට පොලිස් සේවයට ඔහුගෙන් ලැබීමට තිබූ සේවය අහිමි වී යෑම සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් කර වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන බොහෝ දෙනා පවසනවා.

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි විමර්ශන සිදුවූයේ ශානි අබේසේකරගේ අධීක්ෂණය යටතේ. 

රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතනය හා මොහොමඩ් සියාම් ඝාතනය වැනි ආන්දෝලනාත්මක මිනීමැරුම් ගණනාවක අභිරහස් හෙළිකරගත් රහස් පරීක්ෂකවරයා ලෙසද ඔහු සැලකෙනවා.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති බවට පත් වූ විගස ශානි අබේසේකරට ඍජුව චෝදනා එල්ල කරනු ලැබූ අතර ඒ ආසන්නයේ දී උක්ත නඩුව ගොනු කර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ශානි අබේසේකර අත්අඩංගුවට ගනු ලැබුවා.

  • තීක්ෂණ කිරිඇල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles