දැඩි උණුසුමෙන් ප්‍රවේශම් වෙන්න: සියලු උපදෙස් මෙන්න!

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි උණුසුම් කාලගුණයක් සමඟ පොරබදමින් සිටිනවා. තද බල උණුසුම් කාලගුණයෙන් ඇති විය හැකි සංකූලතා පිළිබඳව බලධාරීන් ජනතාවට උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

වයඹ, උතුර, උතුරු මැද සහ ඌව පළාත්වල ඉහළම උණුසුම දැනෙන ප්‍රදේශ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

සැලකිය යුතු වැසි වලාකුළු නිර්මාණය නොවීම උෂ්ණත්වය ඉහළ යාමට බලපා ඇති බවත්, සමහර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි වුවත් රටේ අනෙකුත් ප්‍රදේශවලට වර්ෂා රහිත කාලගුණයක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නියම මෝසම් වැසි තත්වය තවම ආරම්භ වී නැති බවයි තවදුරටත් ඔවුන් දක්වා සිටින්නේ.

උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා උපදෙස් මාලාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. කරුණානායක විසින් සඳහන් කරනවා.
උණුසුම අවශෝෂණය කරන තද පැහැති ඇඳුම් ඇඳී‍මෙන් වැළකී සිටීම සහ තාපය අවශෝෂණය නොකරන සුදු වැනි ලා පැහැති ඇඳුම් තෝරා ගැනීම වැනි දේ ජනතාව විසින් සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා. උෂ්ණාධික කාලවලදී වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් වැළකී සිටීම සහ ජලය පානය කිරීම වැඩි කළ යුතු බව ද ඔහු අවධාරණය කරනවා. වැඩිහිටි පුරවැසියන් සහ වෙනත් සංකූලතා සහිත අය දැඩි උණුසුම් තත්වය ගැන වඩා සැලකිල්ලක් දැක්විය යුතු වන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් තාප දර්ශකය දැඩි අවදානම්කාරී තත්වයකට පත් නොවෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාසය පළ කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ සම්බන්ධයෙන් උපදෙස් දෙමින් පවසන්නේ, නිරන්තරයෙන් ජලය පානය කළ යුතු බවයි. දවසේ උණුසුම් වෙලාව වන උදේ 10 සිට සවස 5 දක්වා එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමේදී සැලකිලිමත් විය යුතු බව ඔහු පවසනවා.

ළමුන්, ගර්භනී කාන්තාවන්, වයෝවෘද්ධ පුද්ගලයින් සහ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි නිධන්ගත රෝග ඇති අය වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් විජලනය සහ තාපය ආශ්‍රිත සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බව විජේසිංහ පෙන්වා දුන්නා. දහවල් කාලයේදී සෘජු හිරු එළියෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරනවා.

ඇතිවිය හැකි සෞඛ්‍ය සංකූලතා වැලැක්වීම සඳහා පැණිරස හා සිසිල් බීමවලට වඩා ජල පරිභෝජනයට ප්‍රමුඛත්වය දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට උපදෙස් දෙනවා. ප්‍රමාණවත් ලෙස සජලනය වීම සඳහා දිනකට ජලය ලීටර් 2.5-3 ක් පමණ පානය කළ යුතු බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles