නියං සායෙන් රත්නපුර තේ කර්මාන්තය හාන්සියි

පවතින දැඩි නියඟ තත්වය නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ නිසාවෙන් තේ වගාව සහ තේ නිෂ්පාදනය යන අංශ දෙකේ ම ඍජු සහ වක්‍ර රැකියා කළ දහස් ගණනක් මේ වන විට ජීවත් වීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා. වී ගොවියන් සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් සම්බන්ධ සාකච්ඡාවක්වත් ඇතිව තිබුණත් රටට විදේශ විනිමය උපයා දෙන තේ කර්මාන්තය දෙස වගකිව යුතු අංශ ඇසක් හෝ හැර නොබලන බවට ජනතාව චෝදනා කරනවා.

පැල්මඩුල්ල, රත්නපුර, කලවාන, බලංගොඩ, රක්වාන වැනි ප්‍රදේශවලට මාස තුනකින් පමණ වර්ෂාව ලැබී නැති බවයි සඳහන් වන්නේ. ජලය හිඟ වීම හේතුවෙන් වගාවන් ටිකෙන් ටික මැරී යන බව තේ වගාකරුවන් පවසනවා. අමු තේ දලු නෙළීමට හැකි මට්ටමට තේ ගසක් වර්ධනය කර ගැනීමට විශාල මුදලක් සහ කාලයක්, ශ්‍රමයක් වැය වන බවයි ඔවුන් තවදුරටත් පවසන්නේ.

තේ වගාව ආශ්‍රිතව දලු කැඩීමේ නිරත වූ අය, අමු තේ දළු ප්‍රවාහනයේ යෙදුණ පිරිස් සහ තේ කර්මාන්තශාලාවල සේවකයන්ගේ රැකියා මේ නිසා අර්බුදයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සමහර අමු දළු ප්‍රවාහන සේවා මේ වන විට සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන්නේ එම ප්‍රදේශවල තේ වගාවල දලු කැඩීම් නවතා දමා තිබෙන නිසාවෙනුයි. ඒ අතර දිනකට අවම අමු තේ දලු කිලෝ 12000ක් අඹරන කර්මාන්තශාලාවල පවා මේ වන විට අමු දළු කිලෝ 2000ක්වත් ඇඹරීම සිදු නොවන බවයි පැවසෙන්නේ. ආසන්න වශයෙන් තේ අස්වැන්න 60%කින් පමණ අඩු වී ඇති බව පැවසෙනවා.

කෙසේ වෙතත්, තේ කර්මාන්තය ආශ්‍රිත ජනතාව අර්බුදයට ගොස් ඇති සේම ඉදිරියේදී රටට ලැබෙන විදේශ විනිමය බොහෝ සෙයින් අඩු වීමටද මේ තත්වය බලපානු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles