පේරාදෙණිය සරසවියේ ඉහළ නිලධාරීන්ට මූල්‍ය වංචා චෝදනා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විසින් එහි නියෝජ්‍ය මූල්‍ය කළමනාකරු සහ එහි ව්‍යාපෘති කළමනාකරු යන අයගේ සේවය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ මූල්‍ය අක්‍රමිකතා චෝදනා හේතුවෙන්.

මෙම මූල්‍ය වංචාවන් පසුගියදා කෝප් කමිටුව විසින් සාකච්ඡා කරන ලද අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලනය මේ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක වී නැති බවට චෝදනා එල්ල වුණා.

තම අභාවප්‍රාප්ත බිරිඳගේ අර්ථසාධක අරමුදලින්, හිඟ වැටුප් සහ දීමනාවලින් රුපියල් මිලියන 7ක් ලබා ගත් බවට නියෝජ්‍ය මූල්‍ය කළමනාකරු වෙත චෝදනා එල්ල වී තිබෙනවා. ඔහුගේ බිරිඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කරමින් සිටියදී හදිසියේ මිය ගිය බව කියැවෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අරුණාචලම් ශාලාව ඉදිකිරීම් කටයුතුවලදී ව්‍යාජ මිල ගණන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ව්‍යපෘති කළමනාකරු වෙත චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු වැඩ තහනම් කිරීමට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය පරිපාලනයට යැවූ බව වාර්තා වෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මෙම සේවකයින් දෙදෙනාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන නිසා ඔවුන් දිගින් දිගටම සේවයේ යෙදවීම විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් විමර්ශනය තෙක් ඔවුන්ගේ සේවය අත්හිටුවීම සුදුසු බවයි සෙනෙට් සභාව තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles