වර්ජනය අත්හරින්නේ නෑ: දුම්රිය රියදුරෝ මුරණ්ඩු වෙයි!

තමන් පෙරේදා (සැප්. 11දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය රියැදුරන්ගේ සංගමය පවසනවා.

අවසන් විසඳුමක් ලැබෙනතුරු වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් නොවන බවයි එම සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක පවසන්නේ.

වෘත්තීය ක්‍රියාමාර්ග ගනු ලැබූ කාල සීමාව තුළ හොරපේ දුම්රිය ස්ථානය අසල සිදු වූ අවාසනාවන්ත සිදුවීම කිසිදු රටක විය යුතු දෙයක් නොවන බව ද ඒ අතර ඔහු පවසා සිටියා.

වැඩ වර්ජන සිදු කිරීමට සේවකයන් පෙළඹෙන්නේ කැමැත්තෙන් නොවන බවත් වෘත්තීය සමිති මේ තත්ත්වයට පත් කර ඇත්තේ වගකිවයුතු බලධාරීන් බවත් ඔහු පැහැදිලි කරනවා.

වෘත්තීය සමිතිවලට පවතින මේ ගැටලුවලට විසඳුම් ලබා දීමට තමා කැමැති වුවත් මේ සඳහා තමාට හැකියාවක් නොමැති බව විෂය භාර ඇමතිවරයා පසුගිය 29 වන දා පැවති රැස්වීමේදී පැවැසූ බැවින් ඒ අනුව මේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔවුන් සඳහන් කරන්නේ.

දැනට වැඩවර්ජනයට එක්ව ඇත්තේ කොළඹ පිහිටි දුම්රිය ධාවනාගාර පහෙන් දෙකක් පමණක් බවත් රජය සිය ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් ධාවනාගාර 5ම ඊට එක් වනු ඇති බවත් දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා.

ඒ අතර වර්ජනය හේතුවෙන් ඊයේ (සැප්. 12දා) රාත්‍රිය වන විට දුම්රිය ගමන් වාර 170කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles