ලව් කරන්නටත් ලයිසන් ගන්නට ඕනැද රාළහාමි?

ශ්‍රී ලංකා පොලිසියේ හැසිරීම් ගැන ලියා වෙහෙසට පත්වන තරමට ඒවා එන්න එන්න වැඩි වෙයි.

විවෘත ස්ථානයක එක්ව සිටි යුවළ පිරිසකට අඩන්තේට්ටම් කිරීම නිසාවෙන් හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස මේ සතියේ සමාජ මාධ්‍ය කලබැගෑනිය ඇවිස්සුවෝ ය. මේ සිදුවීම විසින් දසක ගණනාවක් තිස්සේ පොලිස් බලහත්කාරය නිසාවෙන් පැන නගින ප්‍රශ්න නැවත නැවතත් ඇසෙන්නට පටන් ගෙන තිබේ.

පොලිසිය සිටින්නේ ඊනියා සදාචාරයක් රැකීමටද? නැතිනම් මහජන සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට ද?

මානව සම්බන්ධතා ප්‍රශ්න කරන්නට පොලිසියට ඇති බලය කුමක් ද?

අනෙක් අතට එවැනි වැටලීමකට යද්දී කැමරා නඩයක් රැගෙන යන්නට පොලිසියට ඇති අයිතිය කුමක් ද?

තමන්ගේම කැමරාවලින් එහි සිටියවුන් රූගත කරන්නට පොලිසියට ඇති බලය කුමක් ද?

මෙම වැටලීම කරනු ලැබූ ස්ථානයේ හිමිකරු ලෙස පෙනී ගිය පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ, එම ක්‍රියාමාර්ගයට විරුද්ධව අදහස් දක්වන්නට ගිය නිසා ය.

“ඔයා ආගිව් කරන්න එනව ද?”

යනුවෙන් විමසූ, ස්ථානාධිපතිවරයා “මෙයාවත් ගන්නැ” යි සිය පරිවාරයට කීවේ ය.

විශේෂයෙන් ම ශ්‍රී ලංකා පොලිසිය පුරවැසියන්ගෙන් බලාපොරොත්තු වන්නේ කියන දේ අහගෙන ඔළුව පාත් කරගෙන හිඳීමේ සෑහෙන වැඩවසම් පිළවෙතකි.

“ඔයා නීති කතා කරන්න එපා” යැ යි, මේ ලියුම්කරුටද ශ්‍රී ලංකා පොලිසියෙන් කීප වතාවක් කියා ඇති අතර, නීති ඇත්තේ ඔවුන්ටද අපටද පොදුවේ බව ඒ කීප වතාවේම පැහැදිලි කර දෙන්නට සිදු වී තිබේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යෑම මූලිකව තමන්ට ඇති කාර්යභාරය බල්ලාට දමා අයිති නැති දේවල් කරන්නට කප් ගැසූ ආයතනයකි. පසුගිය දා මදනමෝදක අත්අඩංගුවට ගෙන උසාවියෙන් නොසෑහෙන්න බැනුම් ඇසුවේ ද ඒ නිසාය.

පොලිසිය බූරුවාගේ වැඩේ කරන්නට ගොස් නාගන්නා බොහෝ අවස්ථා ඉතිහාසයේ සිට පැවතවිත් තිබේ. ඒ නිසාවෙන් පොලිසිය උපහාසයට ලක් කරමින් කලාංග පවා බිහි වුණු බව සිහිපත් කළ යුතු ය.

එවක අධිරාජ්‍යාදීන්ට සහ පාලකකාරකාදීනට කත් ඇදීමට ගිය නිසා පොලිස් කෝලම නමැති නාට්‍යාංගය බිහිව තිබේ.

අද දක්වා ජනප්‍රියව පවතින සරා ගොයියා ගීතයෙන් ද සදය උපහාසයට ලක් කෙරෙන්නේ එම භාවිතයයි.

https://www.youtube.com/watch?v=LwZtBLCqYVI

ඒ සියල්ලටම වඩා දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ කලා නිර්මාණයක මෙරට පොලිසියේ භාවිතාව කලාත්මක ලෙසින් යොදාගත් අවස්ථාවක් තිබේ.

ඒ ධර්මසිරි බණ්ඩාරනායක විසින් අධ්‍යක්ෂණය කළ “හංස විලක්” සිනමාපටය යි.

එහි එන කථා වස්තුවට අනුව, නිශ්ශංක සහ මිරැණ්ඩා නම් විකල්ප සම්බන්ධයක සිටින යුවළක් හෝටල් කාමරයක් තුළදී අත්අඩංගුවට ගැනීම නිසාවෙන් ඒ බොහෝ ජීවිත බරපතළ හැලහැප්පීම්වලට භාජනය වෙයි.

මෙම සිනමාපටය බටහිර රටක දී ප්‍රදර්ශනය වූ පසු එම රැටියෝ බොහෝ දෙනෙක් මෙරට එසේ කටයුතු කරන පොලිසියක් තිබේදැයි විමතියෙන් විමසූ බව කියැවෙයි.

මෙලෙස ඊනියා සදාචාර රෙද්දවල්වල උස මැනීමට යෑම අනීතිකය. සදාචාර විරෝධීය. බලතල ඉක්මවා යෑමකි. අශිෂ්ට වීමකි.

සදාචාරය යනු පොලිස් නිලධාරියෙකුගේ මොළයේ දිග පළල අනුව තීරණය වන්නක්ද? එසේ නැතිනම් ඔවුන් කටයුතු කළ යුත්තේ රටේ නීතිය අනුව ද?

වරක් එක්තරා පාසැලක නව යොවුන් දියණියකට විදුහල්පතිවරයා ප්‍රසිද්ධියේ බැණ වැදීමෙන් ලැජ්ජාවට පත් වූ ඇය ගෙල වැළලාගෙන සිය දිවි නසාගත්තා ය.

පසුගිය දා සිදුවීමේ දී එළිමහන් ස්ථානයක සිටි යුවළවල් ලිංගිකව හැසිරුණේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. කැමරා නඩ සමගින් ලොව ඇති බරපතළම වරද කළවුන් නියායෙන් අත්අඩංගුවට ගෙන නැටූ නාඩගම නිසා තාඩන පීඩනයට ලක් වූ ඉන් එක් කෙනෙකු දිවි නසාගත්තේ නම් එහි වගකීම අදාළ පොලිසිය බාර ගන්නේ ද?

අවිනීතව හැසිරීම යනුවෙන් නිතර චෝදනා කෙරෙනු දක්නට ලැබුණත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ එවැනි වරදක් ඇත්තේ ද නැත. “හංස විලක්” සිනමාපටයේ මෙන් යුවළවල් අත්අඩංගුවට ගැනීමට ද පොලිසියට බලයක් ඇත්තේ නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත.

යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ඉතා පැහැදිලිව නෛතික ප්‍රතිපාදනවල දක්වා තිබේ.

ගූගල් සෙවුම් භාවිත කර 2017 වසරේදී Sex වන වචනය වැඩි පුරම සෙවූ නගරය ලෙස ලෝකයෙන්ම මුල් තැනට ආවේ හෝමාගම නගරයයි. ලිංගිකමය දේවල් සම්බන්ධයෙන් එහි කොතරම් සඟවා ඇති ද යන්න එයින්ම පෙනේ.

පිහි ඇනුම්, වෙඩි තැබීම්, ගෙල කැපීම් සාදරයෙන් බාරගන්නා වත්මන් ලංකා සමාජය සිප ගැනීම් දකින්නේ සාපරාධී වරදක් ලෙසිනි.

ඊනියා සදාචාරය රෙද්ද පල්ලෙන් බේරෙන පොලිසියට මුලින්ම නීතිය ඉගැන්විය යුතු ය. ඉන් පසු ලෝකයේ දියුණු සංස්කෘතික හැසිරීම් ගැන කියා දිය යුතු ය. මෑත කාලයේ මෙරට වාර්තා වූ බිහිසුණුම අපරාධයක් වූ තරුණියක් කපා ඝාතනය කර ගමන් බෑගයක් බහා කිසිවක් සිදු නොවුණා සේ ගෙදර ගියේ පොලිස් නිලධාරියෙක් බව අවසන් වශයෙන් සිහිපත් කළ යුතුව තිබේ.

සඳුන් ප්‍රියංකර විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles