ගඩාෆි තෑගි දුන් මහින්දගේ Rolex ඔරලෝසුව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හි‍ටපු අගමැතිවරයා දැඩි ලෙස සංවේදී වූ පුවතක් පසුගිය දිනවල විදෙස් ප්‍රවෘත්ති වාර්තා ඔස්සේ පළ විය.

ලිබියාවේ ගංවතුර ඇතුළු ආපදාවලින් එරට විශාල පිිරිසක් මියගොස් ට්‍රිපොලි ඇතුළු මුළු ලිබියාවේ ප්‍රධාන නගර රැසකට සිදු වී ඇති හානිය දුටු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැඩි ලෙස කම්පාවට පත් විය.

පසුගිය දවසක ඔහු කොළඹ පිහිටි ලිබියානු තානාපති කාර්යාලයට ගියේ ලිබියාවේ විපතට පත් වූ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමටය.

සටහනක් තබමින් ලිබියාවේ ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කළ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා එතන සිටි නිලධාරීන්ට කියා සිටියේ ජනාධිපති කර්නල් ගඩාෆි හිටියානම් අද මෙවැනි ඉරණමක් ලිබියාවට අත් නොවන බවයි.

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සිය නිල නි‍ෙවසට පැමිණෙන විට මැති ඇමැතිවරුන් පිරිසක් පැමිණ සිටියේ හිටපු අගමැතිවරයා හමුවීමටය.

“සර් ලිබියාවේ තානාපති කාර්යාලයට ගියා කිවුවා” යනුවෙන් කතාව ආරම්භ කළේ මධුර විතානගේ මන්ත්‍රීවරයාය.

“ඔව්. ශෝකය සටහනක් කරලා එන්න ගියේ. මං එතන හිටපු නිලධාරීන්ට කිවුවා ගඩාෆි හිටියානම් ලිබියාවේ ජනතාව අද මේ වගේ අසරණ වෙන්නේ නැහැ කියලා”

“සර්. එහේ ගිය වෙලාවේ ගඩාෆි සර්ව හොඳට පිළිගත්තා නේද? යනුවෙන් විමසුවේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

“ඔව් ඉහළින්ම පිළිගත්තා. අපේ රටට හුඟක් සහයෝගය ඕනෑම වෙලාවක ලබා දුන්නා. මං එහේ ගිය වෙලාවේ පිළිගැනීමේ උත්සවයකදී ගඩාෆි හිටපු පුටුවේ මාත් වාඩි කරගත්තා. මිනිහා හිටියේ පුටුවේ මාත් වාඩි කරගත්තා. මිනිහා හිටියේ ලොකු පුටුවක. ඒකේ ඉඩ තිබුණා. ඒකෙ ඉන්න ගමන් තමයි ගඩාෆි මගේ කරට අත තියාගෙන හිටියේ. ඒ ෆොටෝ එක පත්තරවල ගියා. ඒක එදා හුඟක් කතාබහට ලක් වුණා”. යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.

සර්ට ගඩාෆි ජනාධිපතිතුමා හරිම වටිනා තෑග්ගක් දුන්නා. ඒක සර්ට පෞද්ගලිකවම දුන්නු තෑග්ගක්. යනුවෙන් එතන සිටි නිලධාරියෙකු පැවසුවේය.

“මොකක්ද ඒ තෑග්ග යනුවෙන් දැනගැනීමට බොහො දෙනෙකු දැඩි කැමැත්තකින් තමා දෙස බලාගෙන සිටින බව මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා තේරුම් ගත්තේය.

“මං කොටි ත්‍රස්තවාදීන්ට බය නැතුව මුහුණ දුන්නු එක ගැන ගඩාෆි‍ට තිබුණේ විශාල ගෞරවයක්. මටම තෑග්ගක් විදිහට හදපු‍ රොලෙක්ස් (Rolex) අත් ඔර‍ලෝසුවක් තෑගි කළා.“ යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළේය.

“මං හිතන්නේ Rolex ඔරලෝසුවක් හරි ගණන්“ යනුවෙන් විමසුවේ මධුර විතානගේය.

“ඔව්. හුඟක් ගණන්. ගඩාෆි ජනාධිපතිතුමා මේ ඔරලෝසුව Rolex කම්පැනියට කියලා හදවලා තියෙන විශේෂ ඔරලෝසුවක්. පස්සේ කාලෙක මේක පොඩි රෙපයාර් එකක් කරන්න ඕන වෙලා කම්පැනියට යැවුවාම ඒ ගොල්ලන් පුදුම වෙලා තියෙනවා.

මේ ඔරලෝසුවේ සීරියල් නම්බර් එක ගහපුවාහම නම එන්නේ ගඩාෆි කියලා. එතකොට තමයි ඒ ගොල්ලන් දැනගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තෑගි කරන්න මේ විශේෂ ඔරලෝසුව හදවන්න ඇණවුම රොලෙක්ස් කම්පැනියට ගඩාෆි ජනාධිපතිතුමා එයාගේම නමින් භාරදීලා තියෙන්නේ කියලා.“ යනුවෙන් එතන සිටි නිලධාරියා කළ කතාව සියල්ලන්ම අසාගෙන සිටියේ මහත් උනන්දුවකිනි.

  • සිළුමිණ පුවත්පත ඇසුරෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles