ඌරුබොක්ක තරුණ මව බිළිඳිය ඝාතනය කළේ ඇයි?

පසුගිය දා ඌරුබොක්ක ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණ මවක් සිය සය මස් හැවිරිදි බිළඳිය ඝාතනය කළ බවට සැක කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන තොරතුරු අනුව මේ දැරිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇය නෑවීමට යෑමේදී හිස බිත්තියක වැදුණ බව කියමිනුයි. කෙසේ වෙතත් දැරිය අසාධ්‍ය තත්වයෙන් පසු වූ නිසා වලස්මුල්ල රෝහලට මාරු කර යැවීමට කටයුතු කර තිබෙනවා. වලස්මුල්ල රෝහලට ගෙන යන අතරතුර මේ දැරිය මිය ගොස් තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී සැක පළ වී ඇත්තේ දැරිය ඝාතනය කර ඇති බවටයි. ඇගේ සිරුර පුරා පහරදීම් නිසා හානි සිදුවූ බව පශ්චාත් මරණ පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, මේ ඝාතනයට සැක පිට මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පවසා ඇත්තේ ආවේගශීලි මනෝභාවයන් නිසා එසේ කළ බවයි.

පශ්චාත් ප්‍රසව විෂාද තත්වය (postpartum depression) යනුවෙන් මානසික රෝග තත්වයක් ඇති අතර බොහෝ විට මෙවැනි සිදුවීම් සිදුවන්නේ ඒ නිසා බව පෙනී ගොස් තිබෙනවා. මෙම තත්වය දරු ප්‍රසූතියෙන් පසු මව්වරු 10% ප්‍රමාණයකට ඇති විය හැකි බව මනෝ වෛද්‍යවරු පවසනවා.

සමාන්‍ය ජීවිතයේදී ඇතිවන විෂාද තත්ත්වයේ සමාන රෝග ලක්ෂණ මෙම තත්ත්වය තුළද දැකගත හැකි අතර කලකිරීම, එපා වීම, වැඩ කිරීමේ අපහසුව, පණ නැති ගතිය, ශාරීරික වශයෙන් දුබල භාවයක් දැනීම, සතුටක් නොදැනීම හා තමන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති කෙනෙක් ආදී වශයෙන් ඍණාත්මක සිතුවිලි ඇතිවීම එහිදී ඇති වෙනවා.

මේ තත්වය නිසාවෙන් සිය දිවි නසා ගැනීමට පෙළඹීම පමණක් නොව දරුවාට හානි කිරීමට පෙළඹෙන බවයි සඳහන් වන්නේ. මෙම කාලය ඉතා අවදානම් කාලයක් ලෙස සැලකෙනවා. පශ්චාත් ප්‍රසව සයිකෝසියාව (Post Partum Psychosis) වැනි තත්වයට පවා මෙවැනි මව්වරුන් පත්විය හැකි බව පැවසෙනවා. රෝග ලක්ෂණ පහළ වූ සැණින් ප්‍රතිකාර සඳහා යොමු නොවීමෙන් දරුණු ඛේදවාචක නිර්මාණය විය හැකි බව විශේෂඥ මතය ලෙස කියැවෙනවා.

ඌරුබොක්ක දැරිය ඝාතනය සම්බන්ධ සිදුවීම ගැන නිශ්චිතව යමක් කිව නොහැකි වුවත්, නිරෝගී මනසකින් යුතු ගැහැනියක් සිය දරුවා මරා දැමීමට යොමු වනු ඇතැයි සිතීම උගහටයි. මෙවැනි මානසික රෝගී තත්වයක් නිසා එසේ සිදුවීමට ඉඩ ඇති බව අනුමාන කළ හැකියි.

පශ්චාත් ප්‍රසූති මව්වරුන් සම්බන්ධයෙන් පවුලේ උදවිය සහ වගකිව යුතු අංශ (පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැනි) මෙයට වඩා පරෙස්සමින් කටයුතු කළ යුතු යි.

  • තීක්ෂණ කිරිඇල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles