කොළඹ පාසල් අතර පැතිර යන රෝගයක්?

කොළඹ නගර සීමාවේ පාසල් අතර ඇස් ලෙඩ ලෙස හඳුන්වන ‘කොන්ජන්ටිවිටිස්’ අක්ෂි රෝගය පැතිරීම වැළැක්වීමට කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.

අක්ෂි රෝගය පැතිර යාම හේතුවෙන් කොළඹ නගරයේ පාසල් රැසක ශ්‍රේණි කිහිපයක අධ්‍යයන කටයුතු ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක පන්ති අද (සිකුරාදා) තෙක් තාවකාලිකව වසා දමා තිබෙනවා. එම විද්‍යාලයේ සිසුන් 100කට පමණ මෙම රෝගය වැළඳී තිබූ බවයි වාර්තා වූයේ.

කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පැවසුවේ කොළඹ බටහිර, මැද කොළඹ, කොළඹ උතුර සහ බොරැල්ල ප්‍රදේශයේ කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි පාසල්වල අක්ෂි රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව අනාවරණය වී ඇති බවයි.

මෙම රෝගය මාරාන්තික නොවන බවට වෛද්‍ය විජේමුණි සහතික වීමත් සමඟ කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

එක් ඇසක් හෝ දෙකම රතු වීම, කැසීම, අධික කඳුළු, හිසේ කැක්කුම, ආලෝකයට සංවේදීතාව සහ ඇස් වියළි වීම රෝගයේ රෝග ලක්ෂණ ලෙස දැක්වෙනවා.

දින පහකට වඩා වැඩි කාලයක් තම දරුවන්ට මෙම රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles