ලෝකයේ ඛේදවාචක අතරට එක්වීමට නියමිත ඊශ්‍රායල්-පලස්තීන යුද්ධය

නොවිය යුතු සහ නොකළ යුතු දේවල් සිදු වෙමින් පවතිනවා. ආගම් සහ නිජභූමි අයිතීන් තහවුරු කර ගැනීමේ සටන්. එවා කවදා කොහේ වුණත් විනාශයන් සහ කම්පනයන් පමණක් ඉතිරි කර සාමය බිඳ දැමූ අවස්ථා. මේ වන විට ලෝකයේම ආන්දෝලනය වන මේ ඊශ්‍රායල- පලස්තීන ගැටුම එසේ සිදු වන විනාශකාරී අතිශය අමානුෂික සිදුවීම් දාමයක්. එහි තවත් දිගුවක් ආරම්භ වීම මුළු ලෝකයටම බලපෑම් සහගත වනවාට සැක නැහැ.

විසි වන සියවසේ සිට වරින් වර යුද්ධ බිය ඇති කරමින් දහස් ගණනන් ජිවිත සහ දේපළ අහිමි කළ ඊශ්‍රායල- පලස්තීන ගැටුම නැවත වරක් ආරම්භ වෙන්නේ නොසිතූ මොහොතක. එසේ නොවන්න තිබුණා කියන එකයි අපි කා‌ගේ වුණත් අපේක්ෂාව. එහෙත් ඊශ්‍රායල ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයකු ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ බටහිර ඉවුරේ පලස්තීන සරණාගත කඳවුරක දී. එම නිසා සිදු වූයේ වසර ගණනාවකට පසු ඇරැඹුණු ඊශ්‍රායල පලස්තීන සාම කතා අවසන් වීමක්.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ මැදිහත් වීමෙන් ඇරැඹුණ සාම සාකච්ඡා, කඩාකප්පල් ක්‍රියා සහ බාධා එල්ල වීමේ බිය නිසා ආරම්භ වූයේ ජෙරුසෙලමේ රහස් ස්ථානයකදී. එහෙත් සැප්තැම්බර් 26දා සිදුවුණු වෙඩි තැබීම නිසා සාම කතා අවසන් කිරීමට පලස්තීන සාම නියෝජිත පිරිස තීරණය කළා.

කෙසේ වුව ද සාම කතා සාර්ථක කර ගැනීමේ අරමුණ ඇතිව ඊශ්‍රායල අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ද ඊශ‍්‍රායල රජය ඉකුත් 14 වැනිදා පියවර ගෙන තිබිය දීයි මෙම වෙඩි තැබීම සිදුවුණේ.

කෙසේ වුව ද එරට ආරක්ෂක ඇමැති යේලෝන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාකින් ද පසුවයි පලස්තීන ජාතික සිරකරුවන් 104 දෙනකුගෙන් 26 දෙනක් නිදහස කරන්නේ.

නමුත් ලෝකයේම අවාසනාවට සාම කතා ඵලදායී ආකාරයට සිදුවූයේ නැහැ. එසේ වූයේ නම් මේ වන විට සිදුව තිබෙන කිසිදු විනාශයක් සිදු නොවෙන්න තිබුණා. හරියටම ඔක්තෝබර් 7 වන දා පලස්තීන හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා.

ඉන් පසු ගෙවුණු කාලය තුළ ඊශ්‍රායලය බෝම්බ 6000ක් ගාසා තීරයට හෙළුෑ බවත් ඒවායේ බර ටොන් 4000කට අධික බවත් වාර්තා වෙනවා. ගැටුම් හමුවේ මේ වනවිට මියගොස් ඇති ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව1300කට අධිකයි. ගාසා තීරයේ සහ වෙස්ට් බෑන්ක්හි ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 1448ක්. ඒ අතුරින් 447 දෙනෙකු දරුවන්. දෙපාර්ශ්වයේම තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 10,000කට අධික වෙනවා.

එසේම ගාසා තීරයට සියලු සැපයීම් සිදු කළේ ඊශ්‍රායලය හරහායි. එම සැපයීම් නැවතීම නිසා සිවිල් වැසියන් තවත් අසරණව තිබෙනවා. එහි දී අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සහ ජලය සැපයීමට පමණක් අවසර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කර තිබෙනවා. තව ද ඊශ්‍රායලය ගාසා තීරයේ පිහිටි එක ම විදුලි බලාගාරය ද වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම සිදුවීම් අති අමානුෂික බව සියලු රටවලවලට පෙනී ගිය ද මේ වන විට ඊට මැදිහත් වීමක් සිදු කරනවට වඩා එම රටවල් දෙක දෙපසට විවිධ රටවල් දෙපිළ බෙදී සිට ගැනීමයි සිදු වෙන්නේ. එය ඉතාමත් බියකරු දෙයක් වනවාට සැකයක් නෑ.

කෙසේ වුව ද ඊශ්‍රායල හමුදාව ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා හමාස් සටන්කාමීන් ගොඩනගන ලද භූගත උමං ජාලය ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවට පවසනවා. ඒ අතරතුර එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායල් නිලධාරීන් හමුවීමට ඊශ්‍රායලයට පැමිණීමට නියමිත අතර පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ද හමු වීමට නියමිත තිබෙනවා. කෙසේ හෝ මෙවැනි පෙර අනතුරු හැඟවීම් මේ විනාශකාරී යුද්ධය නිමා වීමට වඩා දිගු වීමටයි පාර කියමින් තිබෙන්නේ.

එසේම වයිරයේ ගිනි පුපුරු ලෙස හමාස් සටන්කාමීන්ගේ අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ බව සඳහන් කළා. ඊට පිළිතුරු ලෙස හමාස් සංවිධානය මිහිපිටින් අතුගා දමන තෙක් තම සටන් අත්නොහරින බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා. එසේම සියලුම පක්ෂ එකතු කරමින් මධ්‍යම රජයක් පිහිට වූ ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකයා සහ ආරක්ෂක අමාත්‍යවරයාගෙන් සමන්විත යුද කැබිනෙට්ටුවක් ද පත් කරන බව සඳහන් වෙනවා.

මේ සිදුවීම පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර සහ මැදිහත්වීම් ඉදිරි අනාගතයේදී හෙළිදරව් වෙන්නට නියමිතයි. එහෙත් මෙම සිදුවීම ලෝක ඉතිහාසයේ ඛේදවාචක අතරට එක් වෙන තවත් ඛේදවාචකයක් බව නම් ස්ථිරයි.

  • නුවන් හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles