පලස්තීනුවන්ට උන් හිටි තැන් අහිමි කරමින් යුද ගිනි ඇවිළුණු ඉතිහාස කතාව

මැදපෙර දිග මධ්‍යධරණී මුහුදට නැගෙනහිරෙන් පිහිටා ඇති ඊශ්‍රායලය යුදෙව්වන්ගේ නිජබිම වෙනවා. නමුත් පලස්තීන අරාබි ජනයා පවසන්නේ ඊශ්‍රායල නිජබිම පලස්තීනයට අයත් බව. එම නිසා සම්පූර්ණ බිමේ හෝ ඉන් කොටසක පලස්තීනය යනුවෙන් වෙනම ස්වාධීන රාජ්‍යයක් පිහිටවන්නටයි පලස්තීනයට අවශ්‍ය. අන්න ඒ් අර්බුදය තමයි ඊශ්‍රායල – පලස්තීන ගැටුම ලෙස ඔබ දකින්නේ.

යුදෙව්වන් යනු දෙවන ලෝක යුධ සමයේ මර්දනයට ලක්ව තමන්ටම කියා භූමියක් වෙන් කරගැනීමට වෙහෙසමින් සිටි ජාතියක්. එසේම අතීතයේ යුදෙව්වන් මිසරයේ වහලුන් බවට පත්වන්නේ ඔවුන් එරට තුල සුඛිත මුඛිත දිවියක් ගත කිරීම නිසා රජතුමා තුල ඇතිවූ නොසතුට නිසා බවයි සඳහන් වෙන්නේ. හිට්ලර් ද යුදෙව්වන් මර්දනය කිරීමට හේතු ලෙස යොදාගත්තේත් මේ හේතුව නිසා බවයි ඉතිහාසය පවසන්නේ.

මෙම අර්බුද ආරම්භ වූයේ 20 වන සියවසේ මුල් භාගයේ. ඒ කියන්නේ 1896 – 1948 දක්වා වූ කාලය. එකල යුදෙව්වන් ජිවත් වුණේ යුරෝපයේ. එහි දී යුදෙව්වන්ට විඳින්නට සිදු වූ හිංසා පීඩා නිසා මුලින් ඔටෝමන් අධිරාජ්‍යයේ පාලනයටත් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනයට නතුව තිබූ මෙම භූමියට නීතිවිරෝධීව සංක්‍රමණය වෙනවා. ඒ අද යුදෙව්වන්ට උදව් කරන ඇමරිකාව, කැනඩාව ආදී බොහෝ රටවල් යුදෙව් සරණාගතයන් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා. ඒ වෙනකොට එහි පදිංචිව සිටියේ මුස්ලිම් බහුතරයක් වූ අරාබි වැසියන්. පසුව ඊශ්‍රායලය නිල වශයෙන් තම රාජ්‍ය පිහිටුවා ගන්නවා. ඒ අනුව තමයි මුළු ලෝකේ පුරා ඉන්න යුදෙව් ජාතිකයන් ඊශ්‍රායලය වෙත එන්නේ. යුදෙව් ජාතිකයෙකු ලෝකයේ කොහේ හිටියත් ඔහුට ඊශ්‍රායල පුරවැසිකමත් ලැබුණා.

මේ කාලයේ දී ඊට දැඩි විරෝධය එන්නේ එම භූමියට අයිතිවාසිකම් කියූ අරාබි වැසියන්ගෙන්. ඒ එම රටේ හිමිකාරත්වය ඔවුන්ට අයිති බව පවසමින්. යුදෙව්වන් විශාල වශයෙන් පදිංචි වීම බ්‍රිතාන්‍ය කොළණි බිහිකිරීමට ගන්නා උත්සාහයක් විදිහටයි ආරබි ජාතිකයන් දුටුවේ. එම නිසා මේ අවස්ථාව යුදමය අතට හැරුණා. ඊට ඊශ්‍රායලය අවට අනෙකුත් මැදපෙර දිග රටවල් ද මෙම සටනට එක් වෙනවා. ඒ සමඟ බිහිසුණු සටන් ගණනාවක් ඇති වෙනවා. ඒ යුධමය තත්වය බ්‍රිතාන්‍යයන්ට පවා පාලනය කළ නොහැකි තරමටම උණුසුම් වෙනවා.

අවසානයේ දී 1947 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, බ්‍රිතාන්‍ය සහ පලස්තීන භූමිය වෙන්කර කොටසක් යුදෙව්වන්ට සහ කොටසක් අරාබි ජාතිකයන්ට වෙන්කර දෙන්න උත්සාහ කරනවා. ඒ අරාබි ජාතිකයන් බහුතරයක් විසූ නැගෙනහිර ජෙරුසෙලම සහ බටහිර ඉවුර ජෝර්දානයේ පාලනයට සහ ගාසා තීරය ඊජිප්තුවේ පාලනයට පවරා දෙන්න. නමුත් යුදෙව්වන් මෙම විසඳුමට එකඟතාව පළ කළත්, අරාබි ජාතිකයන් එය දුටුවේ යුදෙව්වන්ගේ දිගුකාලීන ආක්‍රමණික ප්‍රයත්නයක් විදිහට. එම නිසා ඊට අකමැති වුණ අරාබි ජාතිකයන් යුදෙව්වන්ට එරෙහිව සටන් කරනවා.

කෙසේ හෝ එම සටන් අවසානයේ යුදෙව්වන්ගේ රාජ්‍යය ලෙස ඊශ්‍රායලය බිහි වුණා. ඒ 1948 මැයි මස 14. මෙම බිහිවීමට ඊශ්‍රායලය සහ අරාබි රටවල් වූ ඊජිප්තුව, ජෝර්දානය, සිරියාව, සහ ඉරාකය අතර මාස 8ක් බිහිසුණු යුද්ධයක් සිදු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පොරොන්දු වී සිටියේ සමස්ත භූමියෙන් 56%ක් යුදෙව්වන්ට වෙන් කර ඉතිරිය අරාබි ජාතිකයන් ලබා දීමට. නමුත් යුද්ධය අවසාන වන විට යුදෙව්වන් එම භූමියෙන් 77%ක් පමණ යටත් කරගත්තා. පසුව අරාබි ජාතිකයන් 700,000 කට වඩා අවතැන් වූ අතර ඔවුන් ගාසා තීරයට සහ බටහිර ඉවුරට පළා ගියා. අවසානයේ එම ජනතාව තමන්ට කියා රටක් අහිමි අනාථයන් බවට වුණා.

එලෙස අනාථයන් වූ පලස්තීනුවන් බටහිර ඉවුරේ (West Bank) ජිවත් වුණා. නමුත් එරට නාමිකව පාලනය කරන්නේ පලස්තීනුවන් වුවත් එහි බොහොමයක් තියෙන්නේ ඊශ්‍රායල ඉදිකිරීම්. ඒ, ඊශ්‍රායල හමුදා මෙහෙයුම් මගින් පලස්තීන ක්‍රියාකාරකම් මර්දනය කිරීමට සම්බාධක පැනවීම් සඳහා යුදෙව්වන් පදිංචි කළ නිසයි.

එසේම පලස්තීනුවන් වෙසෙන අනෙක් බිම ගාසා තීරය (Gaza Strip) ලෙස හැඳින්වෙනවා. එහි පාලන කටයුතු සිදු කරන්නේ ඉස්ලාමික මූලධර්මවාදී සංවිධානයක් වන හමාස් සංවිධානය. ලෝකයේ බහුතර රටවල් මෙම සංවිධානය ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසයි හඳුන්වන්නේ. නමුත් එරට ඊශ්‍රායල බාධකවලට යටත් වුවත් බටහිර ඉවුරේ මෙන් ඊශ්‍රායල ඉදිකිරීම් සිදු කරන්න ඉඩ දී නැහැ.

1967 අවුරුද්දේ ‘සය දින යුද්ධය’ක් ඇරඹෙනවා. ඒ අතරතුරදී නැවත වරක් ඊජිප්තුව, සිරියාව, සහ ජෝර්දානය පරාජය කරමින් ඊශ්‍රායල හමුදා නැගෙනහිර ජෙරුසෙලම, බටහිර ඉවුර, ගාසා තීරය, සහ සිරියාවේ ගෝලාන් යන ප්‍රදේශවල බලහත්කාරයෙන් කඳවුරු ඉදිකරනවා. දීර්ඝ කාලයක් එහි කඳවුරු බැඳ සිටි ඔවුන් ඒ ප්‍රදේශ වලින් ඉවත් වුණේ 2005 තරම් වූ අපට ද මතක මෑත කාලයේදී .

කෙසේ වුවත් ඔය අතර 1973දීත් අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර යුද්ධයක් ඇති වුණා. ඒ වගේම පලස්තීනුවන් ප්‍රථම වරට ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටීම සිදු වෙනවා. 1987 සිට 1993 දක්වා කාලය දක්වා. එය බිහිසුණු ගැටුමක් දක්වා උග්‍ර වෙනවා. නැවත ඒ ලෙසින්ම 2000 – 2005 කාලය තුල ද පලස්තීන දෙවන නැගී සිටීම සිදු වෙනවා.ඒ අතරේ 2005 අවුරුද්දේ හමාස් සංවිධානය මැතිවරණයකින් ගාසා තීරයේ බලයට පත්වෙනවා.

ඒ සමඟ ඊශ්‍රායලය ගාසා තීරයේ සීමාවන් ඉතා දැඩි කරනු ලැබුවා. ගාසා තීරයේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට බලපෑම් සිදු වුණා. කෙසේ වුණත් හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතර නිතර නිතර ඇතිවෙන ගැටුම් නිසා වැඩි හානි සිදුවන්නේ පලස්තීන ජනයාට. ඊට අමතරව බටහිර ඉවුර, සිරියාව, ජෝර්දානය, සහ ලෙබනනය යන රටවල කඳවුරුවල මිලියන 5කට ආසන්න පලස්තීන සරණාගතයන් පිරිසක් දිවි ගෙවනවා. ඒ බව ඔවුන්ට සහන සලසන එක්සත් ජාතින් විසින් පවසනවා.

ඒ අතර මේ ගැටුම් උත්සන්න කරමින් 500,000කට අධික ඊශ්‍රායල වැසියන් පිරිසක් එදා-මෙදා තුර බටහිර ඉවුරේ පදිංචි වී තිබෙනවා. කෙසේ වුව ද යම් දිනක බටහිර ඉවුරේ පලස්තීනය නම් වූ ස්වාධින රාජ්‍යයක් පිහිටුවීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එම නිසාම ජාත්‍යන්තර නීතිය පිළිබඳ නීතිඥවරුන් බටහිර ඉවුරේ සිදුකෙරෙන ඊශ්‍රායල පදිංචිකරවීම් නිසා හතරවන ජිනීවා ප්‍රතිඥාව උල්ලංඝනය වන බවට චෝදනා කර තිබෙනවා.

විසි වන සියවසේ සිට වරින් වර යුද්ධ බිය ඇති කරමින් දහස් ගණනන් ජිවිත සහ දේපළ අහිමි කළ ඊශ්‍රායල- පලස්තීන ගැටුම නැවත වරක් ආරම්භ වෙන්නේ නොසිතූ මොහොතක. ඒ ඊශ්‍රායල ආරක්ෂක අංශ බටහිර ඉවුරේ දී සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයකු ජීවිතක්ෂයට පත් වීමත් සමඟ. ඒ අනුව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ මැදිහත් වීමෙන් ඇරැඹුණ සාම සාකච්ඡා ද 2023 සැප්තැම්බර් 26 අවසන් කිරීමට සාම නියෝජිත පිරිස තීරණය කරනවා. ඒ් සාම කතා හරියටම ඔක්තෝබර් 7 වන දා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ අවසන් වුණා.

නුවන් හෙට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles