ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක් ඉල්ලන ලෝක බහුතරයට ශ්‍රී ලංකාවත් එක් වෙයි

ගාසා තීරයේ වහා සහ තිරසාර ‘මානුෂීය සටන් විරාමයක්’ ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර ඊශ්‍රායලය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 14ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, කැනඩාව, ජපානය, යුක්රේනය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 45 ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී තිබෙනවා.

ඒ අනුව, සිකුරාදා (27) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර “ක්ෂණික, කල් පවත්නා සහ තිරසාර මානුෂීය සටන් විරාමයක්” ඉල්ලා සිටින යෝජනාව සම්මත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කර බෝම්බ හෙළීම තීව්‍ර කර ඇති බව ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙනවා. ප්‍රදේශය තුළ සිරවී සිටින සිවිල් වැසියන් සඳහා ජීවිතාරක්ෂක සැපයුම් සහ සේවාවන් “අඛණ්ඩ, ප්‍රමාණවත් සහ බාධාවකින් තොරව” සැපයීම ද සම්මත කළ යෝජනාවෙන් ඉල්ලා ඇතැයි දැක්වෙනවා.

පලස්තීන භූමියේ අන්තර්ජාල සහ ජංගම සන්නිවේදන සේවා බිඳවැටීමත් සමඟ ඊශ්‍රායලය වටලනු ලැබූ ගාසා තීරයට බෝම්බ හෙළීම තීව්‍ර කර ඇති බවයි විදෙස් පුවත් ඒජන්සි වාර්තා කරන්නේ. සිකුරාදා රාත්‍රියෙන් පසු ගාසා නගරයට ඉහළින් විශාල පිපිරීම් මාලාවක් හේතුවෙන් අහස ආලෝකමත් වූ බව වාර්තා වුණා.

හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය, මේ වන විට ගාසා තීරයේ 6,000කට වැඩි “ලේඛනගත මරණ” නම් ලැයිස්තුගත කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති බව කියැවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles