ඖෂධ ජාවාරම්කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දෙනවා

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් මේ වන වි‌ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පරීක්ෂණ දෙකක් සිදු කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ අනුව ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති වීමට කිසිසේත් ඉඩ නොතබන බවත් වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පසුගිය කාලයේ රටේ පැවැති මූල්‍ය හිඟය හේතුවෙන් ඖෂධ මෙන්ම අනිකුත් ඇණවුම්වලදී ප්‍රමිතිකරණයේ හා ගුණාත්මක බවේ ප්‍රශ්න ඇති වූ නමුත් ඊට අභ්‍යන්තර ව්‍යූහාත්මක ගැටලු හා පුද්ගලයන් ද සම්බන්ධ වූ බව පෙන්වා දුන් ඇමැති වෛද්‍ය පතිරණ කියා සිටියේ ඉදිරියේදී මෙවන් තත්ත්වයක් කිසිසේත් ඇති නොවීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි.

මෙතෙක් පැවැති අඩුපාඩු හැකි ඉක්මනින් නිරාකරණය කරන බවත් ඖෂධ ජාවාරම්කරුවන්ට වැට බඳින බවත් සෞඛ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් අවධාරණය කළා.

ඉමිනොග්ලොබින් ඖෂධය සම්බන්ධයෙන් වාර්තා වූයේ ප්‍රතික්‍රියා තුනක් පමණක් බවත්, ඇස් රෝහල් සම්බන්ධයෙන් සිදුවී ඇත්තේ බැක්ටීරියාවක් හරහා ඖෂධයේ ආරක්ෂාකාරි තත්ත්වය නැතිවී යාම බවත් පෙන්වා දුන් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසූයේ ඊට අදාළ වන්දි ගෙවීමක් සිදුකළ හැකි බවයි.

මේවන විටත් ක්ෂණිකව අත්‍යවශ්‍ය හා ජීවිත ආරක්ෂක කාණ්ඩයේ ඖෂධ 14 ක කිසිදු හිඟතාවයක් නැති බවත්, හිඟතා පවතින ඖෂධ ගෙන්වීමට ගුණාත්මක බවින් ඉහළ සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීමට සූදානම් බවත්, අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඇණවුම් රජයන් අතර ගිවිසුම් මඟින් හෝ ලබා ගැනීමට මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles