ෂාෆ්ටර් පවුලෙන් පණිවිඩයක්

ඝාතනයකින් මරණයට පත් වී යැ යි අධිකරණය විසින් තීන්දු කරන ලද ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ පවුලේ උදවිය විසින් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දිනේෂ්ගේ මරණයට තවමත් පූර්ණ සාධාරණයක් ඉටු නොවූ බවයි.

උපුටා ගැනීම –

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය ඝාතනයක් බව මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව පසුගිය නොවැම්බර් 1 වැනි දින ප්‍රකාශයට පත් කරනු ලැබීය. දිනේෂ්ගේ මරණයෙන් මාස 11ට පසු මෙම තීන්දුව ලබා දුන්නේ දීර්ඝ කාලයක් පුරා පවුලේ සාමාජිකයන් වන අප විඳි වේදනාකාරී අත්දැකීම්වලට යම් පමණකට සහනයක් ලබා දෙමිනි. මරණ පරීක්ෂණය අවසානයේ යුක්තිය ඉටුවීම නිසා පූර්න යුක්තිය පිලිබඳව අපට අනාගත බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි වී ඇත.

පසුගිය මාස කිහිපය පුරාම සියදිවි නසාගැනීමක් ලෙස නිර්මිත ව්‍යාජ ප්‍රබන්ධයන්ට එරෙහිව අප අඛණ්ඩව සටනක යෙදුණ අතර දිනේෂ්ගේ නිසල දේහයට නිසි අවසන් ගෞරවය දැක්වීමට නොහැකි වීම පිළිබඳව අපි දැඩි සේ කම්පා වීමු. දැන් ඔහුගේ මරණය ඝාතනයක් බව තහවුරු වී ඇති බැවින් ඔහුට හිමි නිසි අවසන් ගෞරවය උරුම කර දීමට අපට හැකි වනු ඇත.

ඔහුගේ මරණය පිළිබඳව මෙතෙක් තහවුරු වූ සත්‍යය අනාවරණය කිරීම වෙනුවෙන් සූක්ෂ්මව සහ ක්‍රියාශීලීව කටයුතු කළ පාර්ශ්වයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන අතර එය යුක්තිය ඉටු කිරීමේ ආරම්භයක් පමණි. මෙම තීන්දුවෙන් තවත් අසාධාරනයක් වළක්වා ගැනීමට හැකි වූවා මිස මේ වන තුරු පූර්ණ සාධාරණයක් ඉටු නොවූ බව අප විශ්වාස කරමු. එසේම ඉදිරියේදී දිනේෂ්ට පූර්ණ යුක්තිය ඉටු කිරීමට මෙරට නීති පද්ධතියට හැකිවනු ඇතැයි අපි වැඩිදුරටත් විශ්වාස කරමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles