දේශබන්දුට මම ලක්ෂ 25ක් දුන්නා: දෙහිවල කඩා දැමූ හෝටලයේ හිමිකරු මාධ්‍ය හමුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියමින් දෙහිවල මුහුදු වෙරළේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා හෝටලයක් 01 දා පොලිසිය විසින් කඩා ඉවත් කරනු ලැබුවා. එය අනවසර ඉදිකිරීමක් ලෙසයි පොලිසිය පවසා සිටියේ. කෙසේ වෙතත් ඒ සමාන්තරව තිබූ කිසිදු හෝටලයක් එලෙස කඩා දැමීමට පොලිසිය කටයුතු කළේ නෑ.

වසර ආරම්භයේදී ම සිදුවුණු මෙම සිදුවීම මහත් ආන්දෝලනයකට ලක් වුණා.

කෙසේ වෙතත් එම හෝටලයේ හිමිකරුවෙක් වන මොහොමඩ් රිෆා යන අය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ලියකියවිලි ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේ තමා ජාවාරම්කරුවෙකු නොවන බව මෙන්ම, නීත්‍යානුකූලව විදේශ විනිමය ගෙනා අයෙක් බවයි. වත්මන් වැ.බ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමාගෙන් බොහෝ උපකාර ලබා ගත් එහිදී වැඩිදුරටත් ඔහු පවසා සිටියා. කඳුළ නමින් වැ.බ. පොලිස්පතිවරයා කළ වැඩසටහනකට තමන් රුපියල් ලක්ෂ 25ක් ලබා දුන් බවත් ඔහු එහිදී කියා සිටියා. එසේ ම බත් පාර්සල් ද, කොවිඩ් සමයේ බඩුද ලබා දුන් බවත් ඔහු හෙළි කළා.

කුඩු ජාවාරම්කරුවෙක් යැ යි කියමින් තමාගේ නම කැත කළ බවට ඔහු චෝදනා කරනවා. ඔහු මාධ්‍යයෙන්ද ඉල්ලා සිටියේ පොලිසිය කියන දේම නොපවසා යම් දෙයක් සොයා බලා පළ කරන ලෙසයි. තනි පුද්ගලයෙකුගේ වුවමනාවක් වෙනුවෙන් මෙය සිදු කළ බවයි ඔහු චෝදනා කරන්නේ.

තමන් සිදු වූ අසාධාරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසම ඉදිරියටද යන බව කී මොහොමඩ් රිෆා, තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය දෙන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටියා.

තමාට වුණ අලාභය සහ තමාගේ කීර්ති නාමයට වුණු හානිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් යුක්තියක් අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles