මෘතදේහයෙනුත් ආණ්ඩු හදා දුන් ලසන්ත ඝාතනයට අදට වසර 15: ඝාතකයෙක් නැති මිනීමැරුමක්!

නිර්භය ලෙසින් මාධ්‍ය හැසිරවූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ 2009 වසරේ දී එනම් මෙරට සිවිල් යුද්ධය බරපතළ අඩියක පැවතුණ කාලයේදීයි.

මේ සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ වෙත බරපතළ චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් එවක එවැනි අතුරුදහන් කිරීම්, ඝාතන සහ පහරදීම් සිදුවුණ සමයක් වූ අතර ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් ඍජු චෝදනා එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වෙත සහ එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා වෙත එල්ල වුණා.

එසේ ම හිටපු ජනපති ගෝඨාභයට එරෙහිව ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් ඇමරිකානු අධිකරණයේ නඩු දෙකක් පවරා ඇති බව වසර කිහිපයකට පෙර වාර්තා වුණා.

එවක තවත් මාධ්‍යවේදි පැහැරගැනීමක් වූ කීත් නොයාර් පැහැරගත් පිරිසම මේ සිදුවීමට සම්බන්ධ බව පරීක්ෂණවලින් අනාවරණය වූ බව එකල පුවත්පත් වාර්තා කළා.

කෙසේ වෙතත් පරීක්ෂණ අනුව අනාවරණය වූයේ මේ ඝාතනයට යුද හමුදා බුද්ධි අංශය සම්බන්ධ බවයි. කන්දේගෙදර පියදාස නම් බුද්ධි අංශ සාමාජිකයෙකුද 2010 වසරේදී ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගැනුණා. එසේ ම තවත් බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකුගෙන් ප්‍රශ්න කෙරුණා. ඒ අතර 2011 දී මේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජේසුදාසන් නම් අය බන්ධනාගාරය තුළදී මිය ගියා. කෙසේ වෙතත් එහිදී ද පරීක්ෂණ යටපත් වූ අතර ලසන්ත ඝාතනය එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැරකිරීමේ වෑයමක් තිබූ බව සමහර අංශ චෝදනා කරනු ලැබුවා.

මෙම මරණය සහ තවත් බොහෝ සිදුවීම් තොරොම්බල් කරමින් 2015 වසරේදී යහපාලන රජය බලයට පත් වූ අතර ලසන්ත ඝාතනය සම්බන්ධ පරීක්ෂණ නැවත ආරම්භ වුණා. එහිදී ලසන්තගේ දේහය නැවත ගොඩගෙන මරණ පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. ඒ අතර මේ ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී යුද හමුදා බුද්ධි සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහුව ලසන්තගේ රියදුරා විසින් තර්ජනයක් සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී හඳුනාගැනුණා. කෙසේ වෙතත්, ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ලිපියක් ලියා වගකීම බාරගනිමින් විශ්‍රාමික යුද හමුදා සාමාජිකයෙක් සිය දිවි නසාගැනුණා.

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගිනි අවිවලින් කළ එක්ක නොවන බවත්, විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කළ එකක් බව අනාවරණය වුණා. මේ ඝාතනය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 295ක් ඇතුළුව 1000කට ආසන්න ප්‍රමාණයකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණා.

මේ සංක්ෂිප්තයට එහා ගිය තව බොහෝ කරුණු ඇතත්, ලසන්ත ඝාතකයා මේ වන විටත්, වසර 15කට පසුවත් සිටින්නේ නිදැල්ලේ සිටිනවා. සෑම වසරකටම වරක්ම ලසන්ත සමරුවේ දී මෙය මතු කෙරෙන අතර එතැනින් එහාට දෙයක් සිදුවන්නේ නැහැ.

කිව යුතු වන්නේ මෙරට සමහරුන් සිය මෘත ක්ලේබරයන්ගෙන් පවා ආණ්ඩු නිර්මාණය කළ බවයි. එහෙත් ඔවුන්ගේ ඝාතනයන්ට කිසිදා සාධාරණය ඉටු වූයේ නැහැ.

ලසන්ත ඝාතනය සමයේ මෙරට විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ අද මෙරට ජනාධිපති ය. මෙම ඝාතනයට සාධාරණය ඉෂ්ඨ කරන බව දිවුරුම්දාහේ දිවුරුවේ ය. එම මෘතදේහයට පය තබා 2015 ආණ්ඩුවද පෙරළා ගත්තේ ය. අදටත් එම මරණය වෙනුවෙන් සාධාරණයක් නැති අතර ඔහුගේ වචන හුළඟට ගසා ගෙන ගිය හිස් වචන බව ඔප්පු වී හමාර ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles