අයකැමි තරුණිය යට ඇඳුමේ පිහිටෙන් කෝටියක් රකී: පොලිසිය මර නින්දේ

ඊයේ (12) අලුයම මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දී බීලූණු වෙළඳසලක මුදල් කොල්ලකෑමක් සිදුවුණා. එහිදී කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් එහි අයකැමි තරුණියට තුවාල සිදු ව තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ කොල්ලකරුවන්ගේ අරමුණ ව්‍යර්ථ කිරීමට එහි සේවය කළ අයකැමි තරුණියගේ ස්ථානෝචිත ප්‍රඥාව සමත්ව ඇති බවයි. මුදල් සහිත එක් ලාච්චුවක යතුර ඇය තම යට ඇඳුම ඇතුළට දමා සඟවාගත් බව පැවසෙනවා.

එම නිසාවෙන් කොල්ලකරුවන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් බේරා ගැනීමට ඇය සමත්ව තිබෙනවා.

කොල්ලකරුවන් පැමිණ, “ඒයි කෙල්ලේ මෙහෙ වරෙන් යතුර දීපන්” යනුවෙන් ගෝරනාඩු කරද්දී “මගේ ළඟ යතුර නැහැ” යනුවෙන් ඇය කෑගසන අයුරු CCTV කැමරාවල දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් කොල්ලකරුවකු අත තිබූ ෂොට්ගන් වර්ගයේ තුවක්කු ඇය බිය ගැන්වීමට යාමේදී වැරදීමකින් ක්‍රියාත්මක වන බවයි පෙනී යන්නේ. මෙම වෙඩි පහර නිසා ඇයට තුවාල සිදුවුණ නමුත් තත්වය බරපතළ නොවන බවයි පැවසෙන්නේ.

මෙම වෙළඳසලට මීටර් 10ක පමණ නුදුරින් පොලිස් මුරපොල පිහිටා තිබුණත්, කොල්ලය දුටු ලොරි රථ රියැදුරෙකු වාහනයේ නලාව දිගටම නාද කරමින් සිටියත් පොලිසිය පැමිණ නැහැ. එහි එම අවස්ථාවේ සිට ඇත්තේ ස්ථානාධිපතිවරයා සමගින් නිලධාරීන් දෙදෙනෙකු බවත් ඔවුන්ද නින්දේ සිටි බවත් වෙළෙඳුන් චෝදනා කරනවා.

මෙහි සේවා සඳහා 8 දෙනෙකු සිටිය යුතු වුවත් අනෙක් පිරිස විශේෂ රාජකාරි සඳහා ගෙන ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

11 වැනිදා දහවල් වටරැක විහාරස්ථානයට අගමැතිවරයා පැමිණීම නිසා 11 රාත්‍රිය වන තුරු එහි ආරක්ෂාව බාරවද මෙම නිලධාරීන් කටයුතු කර ඇති නිසා නින්දට වැටෙන්නට ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles