ලංකාලයින් අතිවිශේෂ හෙළිදරව්ව : පිටරටින් ගෙනා කෝටි 15ක ස්කෑන් යන්ත්‍රය බලධාරීන්ගේ වරදින් මකර කටේ!

පසුගිය කාල වකවානුව පුරාම සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව පළ වූ ප්‍රවෘත්ති හොඳ ප්‍රවෘත්ති නම් නොවේ. රටක් ලෙස පවා ඉතාම ලැජ්ජාවට පත්විය යුතු කරුණක් ලෙසින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පවා මේ වන විට ව්‍යාජ ඖෂධ ජාවාරමක් සම්බන්ධව රිමාන්ඩ් වී සිටින්නේ ය.

කෝටි – ප්‍රකෝටි ගණන් ජනතා මුදල් ගසා කෑම සම්බන්ධයෙන් නම කියැවුණු එකී සෞඛ්‍ය අමාත්‍යංශය ගැනම අපගේ මේ විශේෂ හෙළිදරව්වත් කරන්නට සිදුවීම ගැන අපට නම් ඇත්තේ කණගාටුවකි.

මෙරට රෝහල් තුළ පවතින පෙට් ස්කෑන් යන්ත්‍ර, වෙනත් ස්කෑන් යන්ත්‍ර, එක්සේ-රේ යන්ත්‍ර ආදියේ අඩුපාඩු සහ අලුත්වැඩියාවන් ගැනත් යන්ත්‍ර නොමැතිකම නිසා සිදුවන අපහසුතාවන් ගැනත් එම ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හඬ නගන්නේ කලක පටන් ය.

මෙලෙස ඉතා වැදගත්කමකින් යුත් ස්කෑන් යන්ත්‍රයක් මෙරටට ගෙන්වා ඇත්තේ පසුගිය දෙසැම්බර් 16 වැනි දිනයි. එය ජාතික රෝහල වෙනුවෙන් වෙන කර තිබුණත්, ජයිකා ව්‍යාපෘතියක් හරහා එම වර්ගයේ යන්ත්‍රයක් ජාතික රෝහලට ලැබී ඇති බැවින් එය වෙන් කර තිබෙන්නේ මාතර මහරෝහලටයි.

මාතර රෝහලේ දැනට පවතින ස්කෑන් යන්ත්‍රය බොහෝ යල් පැන ගිය පැරණි යන්ත්‍රයක් (දසක දෙකක් පමණ වයසැති) වන අතර කාලයක් අක්‍රීය තත්වයටද වැටී තිබුණ බව ආරංචි මාර්ග හෙළි කළ අතර මුළු දිස්ත්‍රික්කයටම රජයේ රෝහල් වෙනුවෙන් ඇත්තේ එම යන්ත්‍රය පමණක් බව සොයා බැලීමේදී දැනගැනීමට හැකි විය.

කෙසේ වෙතත්, එතරම් වැදගත්කමකින් යුතු මෙකී යන්ත්‍රය ගෙනැවිත් මාස දෙකක් තිස්සේ තවමත් නිදහස් කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් අසමත්වීම හේතුවෙන් එකී බහලුම වෙන්දේසි කිරීමට හෝ විනාශ කර දැමීමට ක්‍රියා කරන බව එය ගුවනින් ගෙන්වා ඇති ශ්‍රී ලංකන් එයාලයින් සමාගම ලිපියකින් දන්වා ඇතැයි දැනගැනීමට ලැබුණේ ය. මෙය දෙසැම්බර් 16 දින සිට මේ දක්වා නිදහස් කර නොගැනීමට අදාළ ගුදම් ගාස්තු පමණක් ලක්ෂ 20 ආසන්න බව ඒ අතරම හෙළිදරව් වී තිබේ.

මෙහි ඇති අනෙක් කණගාටුදායක කරුණ වන්නේ එවැනි යන්ත්‍ර ගබඩා කර තැබිය යුතු අවම සම්මත තත්වයන්වත් නොමැතිව මෙසේ මාස දෙකක් ගබඩා කර තැබීම නිසා එයට සිදුවිය හැකි හානියයි. සරල සාමාන්‍ය දැනුම අනුව පවා තේරුම් ගත හැකි දෙයක් වන්නේ ස්කෑන් යන්ත්‍ර ආදිය ඉතා පරෙස්සම් සහගතව – වායු සමීකරණ සහිතව සම්මත තත්වයන් යටතේ ස්ථානගත කර තිබීමේ අවශ්‍යතාවයි. බහාලුමක් ලෙසින් මාස දෙකක් තිස්සේ එය ගබඩා කර තිබෙද්දී එයට හානි සිදුවීම අනිවාර්යයෙන් සිදුවි හැක්කකි.

ජනතා මුදල් ලක්ෂ 1500කට ආසන්න මුදලක වටිනාකමක් ඇති මෙවැනි යන්ත්‍රයක් මෙලෙස කාබාසීනියා වී යන්නේ නම් ජනතා මුදලින්ම වැටුප් ලබමින් සීත කාමරවල වැජඹෙන අමාත්‍යංශ ලොක්කන්ගෙන් ඇති පලය කුමක් ද? බංකොලොත් රටක සබන් කෑල්ලේ සිට ගිනි බදු ගෙවා ආණ්ඩුව වෙත එකතු කර දෙන මුදල් සමඟ මෙසේ සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඇති අයිතිය කුමක් ද?

මේවා ජනතා අධිකරණයක් ඉදිරියට ගෙනා යුතු ප්‍රශ්න බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles