කතානායක ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරලා: විශ්වාසභංගය ඇරඹේ

කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් මේ විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, චන්දිම වීරක්කොඩි සහ ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු පිරිසක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.

එම විශ්වාසභංග යෝජනාව තුළින් මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ 13, 17, 20, 33 (6), 34 (1), 35 (1), 21, 22, 31 වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති යෝජනා නොසලකා කටයුතු කර ඇති බව මෙහි සඳහන් වෙනවා.

පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීරණ අනුව කටයුතු කර නොමැති බවත් එසේ කටයුතු නොකිරීම නිසා දැනට එම පනත පවතින ආකාරයෙන් සම්මත කර ගැනීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් ලැබී ඇත්ද යන්න පිළිබඳ බලවත් ප්‍රශ්නයක් නැගී ඇති බවත් 2024.02.08 වැනි දින කතානායකවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද සඳහන් කරනවා.

කතානායකවරයා පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේම උල්ලංඝනය කිරීම, කථානායක ධුරයේ ස්වාධිනත්වය හා ගෞරවය කෙළෙසීම, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ අයිතිවාසිකම් කඩ කරමින් සිය වගකීම් පැහැර හැර ඇති බව පවසමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද වැඩි දුරටත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles