අනතුරෙන් මිය ගිය කථිකාචාර්යවරියගේ පෙම්වතා කී කතාව

ඇය තව ටික දවසකින් මනාලියක වීමට සැරසෙමින් සිටියාය. ඒ අතර අවාසනාවන්ත ලෙස පසුගිය දා හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තාය. ඈ කොළඹ විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක වූ ලක්මිණි තිලෝත්තමා බෝගමුවයි.
ඇගේ පෙම්වතා වූයේ දෙරණ නාලිකාවේ චතුර රුක්ෂාන් කොඩිතුවක්කුයි. ඔහු සිය පෙම්වතියගෙ වියෝවෙන් දැඩි සේ සිත් වේදනාවට පත්ව සිටියි. ඔහු ඒ ගැන මෙසේ පවසා ඇත.

” මට එයා හම්බ වෙන්නේ තලවතුගොඩ දහම් පාසලේදී අපේ කතාවේ ආරම්භය දිනය කියන්න බැරි තරම් ඈත එකක්. එයා විවිධ දක්ෂතා තිබුණු විශේෂයෙන්ම නර්තනයට බොහොම කැමැත්තක් දක්වපු කෙනෙක්. හරිම ආදරණීය චරිතයක්. මේ නැති වුණු ආදරය මම කොහොම ලබා ගන්නද ආපහු. මේ අම්මට යි තාත්තට යි එයාලගේ දුව නැති වුණා වගේම මට මගේ ආදරිය නැති වුණා.අපි මේ අවුරුද්දේ අපේ වෙඩින් එකට හැමදේම ප්ලෑන් කරලයි තිබුණේ . එයා කොහේ ගියත් හැමදාම මං දිහා ආදරෙන් බලාගෙන ඉඳීවි.ඒ ආදරේ මගේ හදවතේ හැමදාම තියේවි.”

අද දෙරණ ප්‍රවෘත්ති හා කාලීන අංශයේ සාමාන්‍යාධිකාරී වසන්ති නානයක්කාර මේ ගැන කවුරුත් මෙතෙක් නොදැන සිටි තවත් කරුණක් හෙළි කළාය.

“කවුරුත් නොදන්න කතාවක් මම මේ කියන්නේ. අනතුරෙන් පස්සේ මේ දුවට ප්‍රතිකාර කළ දැඩි සත්කාර ඒකකයෙ සියලු නිලධාරීන්ට චතුර පුතා වැඳලා ස්තූති කළා. ඒ වගේම ජීවත් වෙලා ඉන්න කාලය පුරාවටම ඒ දුවගෙ අම්මයි තාත්තයි රැක බලා ගන්නවා කියලා සියලු දෙනා ඉදිරියේ පොරොන්දු වුණා .ඔහු හොඳ දරා ගැනීමේ ශක්තියක් තියෙන බුද්ධිමත් ළමයෙක්.”

දෙරණ නාලිකාවෙන් ඉවත්ව ගිය මාධ්‍යවේදිනී දිල්කා සමන්මලීත් මේ ගැන ඉතාම සංවේදී ප්‍රකාශයක් කර තිබුණි.
“කොහොමද ඔයාට සමුදෙන්නේ පැටියෝ ඒක හිතාගන්නවත් බැරි ආරංචියක්. ඔයාගෙයි චතුර මල්ලිගෙයි මගුල් ගෙදරට එන්න බැරි වෙන එක ගැන හිතපු මට ඔයාගේ මේ හදිසි නික්ම යෑම හීනයක්. මට දැන් වගේ මතකයි චතුර මල්ලි අක්කා මගේ වෙඩින් එකට ඔයා එතකොට නෑ නේද කියලා ඇහුවා. අනේ මල්ලි, ඔයාට මේ වෙන්වීම දරාගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා හැර අපි වෙන මොනවා කරන්නද.”

නොසැලකිල්ල නිසා අකාලයේ පරව ගිය රෝස කුසුම ලක්මිණි පසුගියදා තලවතුගොඩ පොදු සුසාන භූමියේදී දෙමව්පියන්, ආදරණීය පෙම්වතාගෙන් වගේම හිත මිතුරන්, කලාකරුවන්,විද්වතුන් රැසකගේ සෝ සුසුම් මැද සියලු දෙනාගෙන් සමුගෙන දෙරණේ මිහිදන් වූවාය.

  • වයලට් ප්‍රියදර්ශනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles