කාටද රිදුණේ? කවුරුද හැඬුවේ? දුම්රිය මොහොතක් නතර වුණේ…!

පහුගිය පෙබරවාරි 19 දා සවසයි.
ශානිකාට සිය 9 හැවිරිදි සසත් පුතු බාහිර උපකාරක පන්තියකට ගෙන යෑමට තිබුණි. ඒ සඳහා ශානිකා ඇයගේ යතුරුපැදියෙන් යන්නට සූදානම් වූවාය.

“අනේ අම්මේ මමත් එනවා ” කියමින් 15 හැවිරිදි සිසුම්ෂා දියණියද ඊට ගොඩ වූවාය.
ඒ වන විටත් පන්තිය ආරම්භ වීම නිසා, විනාඩි 25 කට ආසන්න කාලයක ප්‍රමාදයක් ද තිබිණි.

හැලඹවටවන තම ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිටින් දරුවන් සමඟ යතුරුපැදියට නැගුණු ශානිකා මයියාව හරහා පන්තිය පැවැත්වෙන ස්ථානයට ගමන් කරමින් සිටියාය. පිටත් වීමට පෙර සැමියාට කීවේ දරුවා උපකාරක පන්තියට දමා ඉක්මනින්ම නැවත එන බවය. ඒත් මේ ඇය යන්නේ තම දරුවන් දෙදෙනා සමග අවසන් ගමන බව නැවත නොඑනා බව ඔහු නොදැන සිටියේය. ඉඟියකින් හෝ ඔහුට ඒ බව දැනුණේ නැත.

වේලාව සවස 3.20 ට ආසන්න වෙමින් තිබුණි. කොළඹ කොටුවෙන් පිටත්ව පුත්තලම බලා යමින් තිබූ 0417 දුම්රිය මයියාව දුම්රිය හරස් මග පසු කරන්නට හැදුවා පමණි. ශානිකා දුම්රිය මාර්ගයට යතුරුපැදිය දැම්මේත් ඒ සමගයි. දුම්රිය රියැදුරුට කර කියා ගත හැකි කිසිවක් ලොකුවට ඉතිරි නොවිණි. තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කෙරුණි. දුම්රිය නැවතුණි. ඒත් ඒ වන විටත් නොවිය යුතු සියල්ල සිදුවී තිබුණි. යතුරුපැදිය දුම්රියේ ගැටී මීටර් සීයකට වැඩි දුරක් ඇදී ගොස් තිබුණි.ආරච්චිකට්ටුව අඩිප්පල පදිංචිව සිටි තිස් හය හැවිදි ශානිකා දිල්රුක්ෂිත් ඇගේ දරු දෙදෙනාත් ඒ වෙද්දීත් අවසන් ගමන් ගොස් අවසන්ය. යකඩ යකාගේ වැදී ඒ සිරුරු කැබලිව ගොස් තිබුණි. ඒ සියල්ලටම ගත වූවේ තත්පරයකින් පොඩි පංගුවක කාලයකි.

දුම්රිය හරස් මාර්ගයක ආරක්ෂිත ගේට්ටු, විදුලි සංඥා පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුය. නමුත් ආරච්චිකට්ටුව ආනවිලුන්දාව දුම්රිය ස්ථානයට මීටර් 500ක් දුරින් වූ මයියාව දුම්රිය හරස් මාර්ගය වසර ගණනාවක සිට පවතින්නේ අනාරක්ෂිත තත්ත්වයේය. මීට පෙරද මේ ස්ථානයේ මෙවැනි අනතුරු රැසක් සිදුවීමට ගිය බවත් කුමක් හෝ වාසනාවකට ඒවා නම් සිදු නොවූ බවත් ප්‍රදේශවාසීහු පවසති. දුම්රිය දෙපාර්තමේන්තුව තම වගකීම් පැහැර හැර තිබීම හේතුවෙන් මේ අනතුර සිදු වූ බව පැහැදිලිය. දුම්රිය බලධාරීන්ගේ දෑස් දැන්වත් මේ වෙත යොමු වේදැයි අපිට නම් විශ්වාසයක් ඇත්තේ නැත.

  • වයලට් ප්‍රියදර්ශනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles