සඳනි බැන්දොත් රාජපක්ෂ පවුල වැජඹෙයි ද? පියත් කිව්ව දේ!

‘බඳිමු සුදා’ පියත් මෙහෙම කියන්නෙ සඳනිට කියලා හැමෝම දන්නවා. සමාජ මාධ්‍යයේ නිරන්තර කතාබහට ලක් වෙන සඳනි සහ පියත් කියන්නෙ රන් රස වගේ පෑහෙන පෙම් යුළෙක් කියලා බැලූ බැල්මට ම පේනවා. පියත් කොහෙද සඳනි එතැන. සඳනි කොහෙද පියත් එතැන. ඒ දෙන්නට දෙන්නා නැතුවම බෑ කියලා ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒ විදිහට ඔවුන්ගේ ප්‍රේමය තව දුරටත් ලොවට රහසක් නොවන පසුබිමක පියත් හරි අපූරු ගීතයක් නිර්මාණය කරනවා.

ගීතය ලියන්නෙත් තනු යොදා ගයන්නෙත් පියත්මයි. ඒ නිසාම ද කොහෙද මේ ගීතය ඇහෙද්දි අපිට හිතෙන්නෙම පියත් මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ සිය සුන්දර පෙම්වතිය සඳනි වෙනුවෙන්මයි කියලයි.

ඒ විතරක් ද සුරූපී සඳනි ප්‍රනාන්දුත් කඩවසම් පියත් රාජපක්ෂත් මෙහි රූප රචනයෙන් ගීතයට එක් කර තිබෙන අපූර්වත්වය ගැන බොහෝ දෙනා කතා වෙනවා.

” මේ සින්දුවේ පද ටික මුලින්ම ලිව්වේ දුක හිතෙන සින්දුවක් විදියට. ‘කොමල ලියා සිකුරු ලියා ..කුමරිය ඔබ ඔහු බඳිනු එපා ‘… කියලයි මුලින් ලිව්වේ. පස්සේ එක වෙනස් කරලා ආදරණීය ගීතයක් බවට පත් කළා. මියුසික් වීඩියෝ එකත් මගේම අදහසක්. මේක මම ලිව්වේ සඳනි වෙනුවෙන්මයි. මේ ගීතයේ තේරුමට හැමෝම ආදරෙයි. මොකද ඕනම කොල්ලෙක් කැමතියි ලස්සන කෙල්ලෙක් බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න. ඒ වගේම ඕනම කෙල්ලෙක් කැමති ගමේම ඉන්න ලස්සනම ලේලි වෙන්න. ඒ නිසාම වෙන්නැති මේ ගීතයට මේ තරම් ප්‍රතිචාර. මේ ගීතයේ රූප රචනයට සඳනිගේ පවුලේ අයත් සම්බන්ධ වෙනවා. ඒ අයත් හරිම සතුටින් ඉන්නේ මේ ගීතය මේ තරම් හිට් වීම ගැන.”

සිංදුව ගැන එහෙම කියන පියත් ඒ අම්මගෙ ලස්සනම ලේලි ගැන මෙහෙම කියනවා.

“එයා හරිම ආදරණීය කෙනෙක් .ඉඳලා හිටලා තරහ යන්නේ නැතුව නෙවෙයි. ඒත් එයා ඕනෙම කෙනෙක්ට ආදරෙන් සලකන්න දන්නවා. මගේ ජීවිතයේ මට එන හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න ශක්තිය මට දෙන්නෙ සඳනි. මගේ අතින් මේ විදියේ සින්දු ලියවෙන්නෙත් එයා නිසා. මේ ලස්සනම ලේලි කැන්දන් එන්නේ කවද්ද කියලා හැමෝම මගෙන් අහනවා. දැන්ම නම් ඒ ගැන හිතලා නැහැ. මොකද අපි දෙන්නම මේ දවස්වල කාර්යබහුලයි. හැබැයි ඒ දවස ළඟදිම උදාවෙයි.”

“ගමේ ලස්සනම ලේලි අපේ අම්මගේ වේවි…
නුඹ මං එක්කලා ඉද්දී තව හැඩට පෙනේවි…
නෑදෑයොන්ට ගොඩක් ඉරිසියා හිතේවි…
රාජපක්ෂ පවුල මුළු ගමේම වැජඹේවි ..”

  • වයලට් ප්‍රියදර්ශනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles