මධුසමයත් ශ්‍රී පාදයේ ගත කළ විමලසිරිගේ කතාව

විමලසිරි විවාහ වන්නේ 1982 වසරේ ජනවාරි 22 දා ය. අනතුරුව එදින සවස ඔහු සිය බිරිඳ සමග පිටත්ව යන්නේ මධුසමය ගත කිරීමට නොව සිරිපා කරුණා කිරීමට ය. ඔවුන් එදින රාත්‍රිය ගත කරන්නේ උඩමළුවේ ය. නැවත නිවෙස කරා එන්නේ පසුදින ඉර සේවය ද නැරඹීමෙන් පසුව ය.

සිරිපා වැඳ නමස්කාර කර ගෙන සමන් දෙවිඳු ආශිර්වාදය තම විවාහ ජීවිතයට ද එක් කර ගැනීමට එදා ඔහු සිතුවා විය හැක.

එහෙත් එවැන්නන් සිටිය හැකි ද? දැන් මෙය කියවන ඔබෙන් නැගෙන ප්‍රශ්නය එය විය යුතුය .

මේ කියන්න යන්නේ ඒ විශේෂ චරිතය ගැනය. ඔහු එච්.ඒ.විමලසිරි..
මේ වන විට රාජ්‍ය බුද්ධි සේවාවේ රාජකාරි කර විශ්‍රාම ලබා සිටින සිටින උප පොලිස් පරීක්ෂකවරයෙක්.

ඔහුට සිරිපා උඩමළුව සිය නිවහන තරමට හුරුපුරුදු ය. සිරිපා වන්දනා ගමන අහස් මග පාව යන වළාවක සැහැල්ලුව ය.

අවුරුදු 10 දී කිරිකෝඩු වූ විමලසිරි මුලින්ම සිරිපාදය වන්දනා කරන්නට යන්නේ පවුලේ උදවිය සමග ය.
එයින් පසු අද වන විට විමලසිරි සිරිපා කරුණා ලබන්නට සමන්ගිරි මුඳුනට ගොස් ඇති වාර ගණන 100 ඉක්මවා ඇත. ඔහු ලබන මාර්තු මාසයේ මුල් සතියේ දී පමණ සිරිපා වඳින්නට යන්න හිතන් ඉන්නේ 104 වෙනි වතාවටය.
ඔහුට සිරිපා ගමන වගේම සිරිපා අඩවිය ගැන ද කියන්නට බොහෝ දේ ය.

ඔහුගේ මුල්ම සිරිපා ගමන ඔහුට මතක ය. ඔවුන් එදා ගමන් කර තිබෙන්නේ පලාබද්දල මාර්ගය ඔස්සේ ය. බොහෝ තැන්වලින් ගස් වැල්වල පවා එල්ලී ගමන් කිරීමට සිදු වූ එය දුෂ්කර ගමනකි.

තරුණ කාලයේ දී ඔහුට පැය දෙකක් වගේ කාලයකදී සිරිපා කරුණා කර නැවත පැය දෙකක වගේ කාලයක් තුළ බැසීමේ හැකියාව තිබී ඇත. එසේ දිනකට දෙවතාවක් ගිය අවස්ථා ද තිබී ඇත. මේ ගමන් වාර අතර අවාරයේ ගිය ගමන් ද ඇත. ඒ ගමන් වල දී ඔහු මිතුරෙකු ද ඊට එක් කර ගත්තේය. එසේ ගිය දින වල දී බොහොම අඩු පහසුකම් ඇති උඩමළුවේ රැය පහන් කර ඇත.

විමලසිරි මහතා නඩේ ගුරෙකු වශයෙන් මේ වන විට කිරි කෝඩුකරුවන් සහ දඬුකෝඩුකරුවන් 200 ක් පමණ වත්පිළිවෙත් වලට අනුව සිරිපා වන්දවා ඇත. ඒ අතර කෝඩුකාර මහාධිකරණ විනිසුරුවරුවරියන් දෙදෙනකු ද වීම විශේෂ කාරණයකි.

  • වයලට් ප්‍රියදර්ශනී

1 COMMENT

  1. ඔය වගේ ළස්සණ කතාවක් තියෙන චරිත මේ ලංකාවේ කොහේ කොහේ හැංගිලා ඉන්නව ඇද්ද.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles