ආක්ෂා චමුදි බැණපු අය ගැන කතා කරයි

රියැලිටි වේදිකාවේ ජනප්‍රිය පුංචි තරුව ආක්ෂා චමුදි මේ දිනවල නැවත වතාවක් ඇය කෙරෙහි රසික අවධානය යොමු කරගෙන තියෙනවා.

එක්තරා රූපවාහිනි නාලිකාවක් මගින් පවත්වන ලද රියැලිටි වැඩසටහනකින් ඔබ මා හඳුනාගත් ආක්ෂා චමුදි දක්ෂ ගායන ශිල්පිනියක් බව පසුගියදා නැවත වතාවක් ඔප්පු කළා.

ඒ ඇය ‘ මා නොවන මම ‘ සංගීතමය වැඩසටහනට සහභාගි වීමත් සමගයි. මෙතෙක් කල් වේගරිද්මයේ ගායන ශෛලියකින් ගීත ගයමින් සිටි පුංචි ආක්ෂා එම වැඩසටහනේදී ගැයීම සඳහා ඊට හාත්පසින්ම වෙනස් ආරක ගීත කීපයක් තෝරාගෙන තිබුණා. ඒ වෙනසත් එක්ක පුංචි ආක්ෂා ඇගේ ගායන ප්‍රතිභාව ඇගේ රසිකයන් වෙත තවත් මිහිරට දැනෙන්නට වුණා.

ඇතැම් තැනකදී ඇගේ ගායන විලාශය, ඇය තෝරා ගන්නා ගීත ගැන විවිධ මත තිබුණා. නමුත් මේ වැඩසටහනේදී ඈ ගැයූ ගීතත් ඉන් ඇය තුළින් ඉස්මතු වූ තවත් මානයක වූ හැකියාවත් ප්‍රශංසා කරමින් බොහෝ දෙනා ඇයට සුබ පතා තිබූ අයුරු දකින්නට ලැබුණා.

ඉතින් ආක්ෂා චමුදි දියණිය මේ ගැන කියන්නේ මෙන්න මේ වගේ දෙයක්.

“මට ගායනා කරන්න පුළුවන් වේග රිද්මයේ ගීත පමණයි කියලා සමාජ මාධ්‍යවල තිබුණ පෝස්ට්වල මම දැකලා තියෙනවා. ඒක මෙහෙමයි. සාමාන්‍යයෙන් වේදිකාවක අපි ගායනා කරන්නේ වේග රිද්ම ගීතනෙ. වේදිකාවක ගීත ගායන කරද්දී ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ ගීත. ඉතිං මම මෙච්චර කල් ඒකයි ඒ වගේ ගීත ගායනා කළේ. මම හැම වර්ගයේම ගීත ගායනා කරන්න කැමතියි. ගොඩක්ම කැමති මාව අහන් ඉන්න අය කැමති ගීත ගයන්න.

මට ඉස්සර ඉඳලම හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා. ඒ කාලෙ මම පුංචි නිසා මට ගොඩක් දේවල් ගැන තේරුමක් තිබුණේ නෑ. මට ගොඩක් නරක ප්‍රතිචාර ලැබුණේ ‘රෑ දවල්’ ගීතය ගායනා කරපු වෙලාවෙ. ගීතයකට කෙනෙක් කැමති වෙද්දී කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒක අපි ගායනය කරන ගීතය අනුවත් තීරණය වෙන දෙයක්. ඉතින් මේ වැඩසටහනින් පස්සේ ඉස්සර මට බැනපු අයත් දැන් හොඳ කියනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි. මට වේග රිද්ම ගීත පමණක් ගායනා කරන්න පුළුවන් කියල හිතා ගෙන හිටපු අය දැන් දන්නවා මට අනිත් ගීතත් ගායනා කරන්න පුළුවන් කියලා. එදා වැඩසටහනට ගීත තෝරා ගත්තේ මම ම යි. ඒකට ගැලපෙන්නෙත් ඒ වගේ ගීත නේ.

මම පුංචි කාලේ ඉඳලම සින්දු කියනවා. ඒක මට මහන්සියක් නෙවෙයි. ඒක මගේ විනෝදාංශය. මං ඒක කරන්නෙ ආසාවෙන්. මගේ ගීත රටාවේ වෙනසත් එක්ක දැන් මට ගොඩක් ආරාධනා එන්නේ ගෘහස්ථ ප්‍රසංගවලට. ඒත් මම කැමතියි එළිමහන් ප්‍රසංගවලටත් යන්න. ඒ දෙකම කර ගෙන යන්න. ඉස්කෝලේ වැඩත් පාඩු කර ගන්නේ නැතිව මේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න.”

සුබ පැතුම් ආක්ෂා!

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles