වෙඩි කා මිය ගිය සුව පරීක්ෂකගේ ජීවිතයේ කවුරුත් නොදන්නා කඳුළු කතාව

එදා පුංචි පුතා පාසල් යන මුල්ම දිනය විය. ඔහු පුතු සූදානම් කළේය. ඔහුද ඇඳ පැළඳ ගත්තේය. නිවසම සතුටින් පිරී තිබුණි.
මාරයා ඔහු සොයා ආවේ ඒ මොහොතේ ම ය. සිත් පිත් නැති උණ්ඩ කීපයක් ඔහුගේ සෙනෙහෙබර ළය පසාරු කරගෙන ගියේය.
ඒ වෙඩි හඬින් දීපාල්ගේ නිවසේ එතෙක් පැවති සතුට සුනුවිසුණුව යද්දී මුළු නිවසම එකම විලාපයක් වූයේ ය.

වේලාව උදේ 6.30 ට පමණය. 26 වෙනිදාය. කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලෙස කටයුතු කළ දීපාල් රොෂාන් කුමාර විතානච්චි මහතා සාහසික වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ එදාය.

බිරිඳ, දියණිය හා පුතුන් දෙදෙනා සමග දිවි ගෙවූ සොඳුරු කැදැල්ල තුළම දීපාල් මහතා දිවි හැර ගියේ කාගේ වුවමනාවටදැයි තවමත් කිසිවෙකු දන්නේ නැත. ඝාතකයන් හැර..

” මං හරිම ආසාවෙන් හිටියේ ඉස්කෝලේ යන්න. තාත්තා මට ඇඳුම් අන්දවලා එයත් ඇඳගත්තා ඒත් එක්කම එක පාරටම මාමා කෙනෙක් ගෙදර පැත්තෙ දොර ඇරගෙන ඇතුළු වුණා. එයා තාත්තව ගේ ඇතුලට තල්ලු කරගෙන ගිහින් පොඩි තුවක්කුවකින් වෙඩි තිබ්බා. .තාත්තා කෑගහගෙන ඒ මාමගෙන් බේරෙන්න ඉස්සරහ දොර පැත්තට දිව්වා. ඒත් ඒ මාමා තාත්තට තවත් වෙඩි දෙක තුනක්ම තිබ්බා. තාත්තා එතනම බිම ඇදගෙන වැටුණා .”

ඇසූ අයෙකු ඇත්නම් අනේ අපොයි කියන මේ ශෝකජනක පුවත බොහෝ මාධ්‍යවල පළ කර තිබුණ අතර හා හා පුරා කියා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා හිටිය පුංචි පුතාගේ මේ ප්‍රකාශය අසන, කියවන කවරෙකුගේ වුවද නෙතට කඳුලක් ගෙනෙනවාට සැක නැත.

තම දෑස් ඉදිරිපිට සිය පියා මරා දමනවා දුටු මේ පුංචි පුතාට ජීවිත කාලයටම දැනෙන අමිහිරි
හැඟීමේ වගකීම බාර ගන්නේ කවුද ?

මේ අහිංසක දරුවන්ට පියා අහිමි කළේ කවුද ? ඒ ඇයි? මේ සියල්ල ඉදිරියේ මේ මොහොත වන විටත් ප්‍රශ්නාර්ථයකි.

දීපාල් රොෂාන් නීතිගරුක ලෙස සිය රාජකාරී ඉටු කළ නිලධාරියකු බව ඔහු දන්නා හඳුනන අයට නොරහසකි.
එසේ නම් හේතුව එයද?

නැත්නම් වෙනත් දෙයක් ද?

පොලිසිය නම් පවසන්නේ කිසියම් පිරිසක් පාතාලයට ලබා දුන් කොන්ත්‍රාත්තුවකට මේ ඝාතනය සිදුවන්නට ඇති බවයි.

ඇල්පිටිය කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරි රමිඳු ද සිල්වාගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පොලිස් විමර්ශන පැවැත්වෙන බව සඳහන්ය.

කාගෙවත් ජීවිතයක් උදුරා ගැනීමට කාටවත් අයිතියක් නැත. එසේ කළ අයට නීතිය ක්‍රියාත්මක වන්නේ දැයි බලා සිටීම හැර දැන් කරන්න ට දෙයක් ද නැත.

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles