ඔෂින්ට හඬ කැවූ රසාදරීට ටයි මහත්තයා කියා දුන් අමුතු පාඩම

සිංහලෙන් හඬ කැවූ ‘ඔෂින් ‘ ජපන් කතා මාලාව. ඒක තවත් එක කතාවක් නෙවෙයි. ඒක අපිට දැනුණේ ජීවිතය වගේ.
එහි තරුණ ඔෂින් ගේ චරිතය නිරූපණය කළ යුකෝ ටනාකා රංගන ශිල්පිනියගේ සිංහල හඬෙහි හිමිකාරිය. ඔශින් තරමටම අපිට ළඟ රසාදරි පීරිස්. ඇය අපිට ඉන්න දක්ෂ ශිල්පිනියක්. වසර විසිපහකට පස්සේ මේ ළඟදි රසාදරීට සම්මානයක් ලැබෙනවා. ඒ ඔෂින් වෙනුවෙන් ඇය ලබාගත් ජනප්‍රියත්වය සහ ලබා දුන් හඬ දායකත්වය වෙනුවෙන්.

තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඇයට මේ සම්මානය ලැබෙන්නෙ ඇය හඬ කැවීම් ක්ෂේත්‍රයට ගෙනා අතුල රන්සිරිලාල් මහතා ප්‍රධානත්වය දරන ලංකා ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ ඇකඩමි ආයතනයෙන් වීම.

ඒ ගැන කතාවකට ඈ රූපවාහිනී නාලිකාවකට එනවා. ඇගේ කතාවේ එක තැනෙක ඇගේ හඬකැවීම් සම්බන්ධ මතක ආවර්ජනය ඇය මෙසේ දිග හරිනවා. ඇත්තටම ඒක අපිට බෙදා හදා ගෙන රස විඳින්න හිතෙන තරම්ම රසවත්.

“හඬ කැවීම හිතනවට වඩා අසීරු දෙයක්. ඒක කොච්චරද කියලා කියනවා නම් මම මුහුණ දීපු අත්දැකීම් කීපයක් කියන්න කැමතියි .
මම හඬ කවන්න යන්නෙ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් හැටියට ඉන්න කාලෙ.

ඔන්න මම මුල් දවසෙ යනවා. ගිහිල්ල බලපුවාම ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. ස්ටෑන්ඩ් එකක දාපු මයික්‍රෆෝන්ස් පේළියක් තියෙනවා. මට පිටපතක් දුන්නා. ඒ පිටපතේ තියෙනවා දෙබස් කීපයක්. ඒක බලලා අර ස්ක්‍රීන් එකේ ෆිල්ම් එක ප්ලේ වෙනකොට ඒකෙ එන විදිහට මේ වචන කියන්න කියලා තමයි ටයි මහත්තයා මට කිව්වේ. ඔහු මේ ක්ෂේත්‍රයේ දැවැන්තයා සහ පුරෝගාමියා. ඒ නිසා මට කොහොමත් පොඩි තිගැස්මක් තිබුණා ඔහු හමුවෙච්ච වෙලාවෙ ඉඳලම.

ඒ වගේම මගේ දෙපැත්තේ මයික්‍රෆෝන්වල හිටියේ ලෙස්ලි රාමනායක, ධර්ම ශ්‍රී මුණසිංහ, කරුණාරත්න අමරසිංහ, විජයරත්න වරකාගොඩ, නිහාල් ජයවර්ධන වගේ එවකට හිටපු ප්‍රවීණම රංගන ශිල්පීන්. මම විතරයි එදා හිටිය එකම කාන්තාව. ඔන්න මම ගියා. පිටපත අරගත්තා. ඉතින් පිටපතේ තියෙන එක කියන එක ලොකු දෙයක් නෙවෙයිනේ.

මම බලන් හිටිය ස්ක්‍රීන් එක දිහා. ලස්සන ලොකු ගවුමක් ඇඳ ගත්ත කුමරියක් දුවගෙන එනවා ‘අහ්’.කියනව. තව මොකද්ද එකක් කියනවා බයවෙනවා. දුවනවා.පොඩි දෙයක්.

ඉතින් ඔන්න මං පටන්ගත්තා.අරයා දුවගෙන එනකොට ඔන්න මං ‘අහ් ‘ගෑවා.ඒ කියන කොට එයා දෙබසුත් කියලා දුවලත් ඉවරයි.
ඔහොම කීප සැරයක් කිව්වා, කිව්වා, කිව්වා හරියන්නෙම නෑ.

ඉතින් ඔන්න ටයි මහත්තයා කියනවා මේ බලන්න එයා එනවා.. ඔන්න ඔය වගේ මොනවද කිව්වා. මට මෙලොව සිහියක් නෑ.

කොහොම හරි මට ඒක කර ගන්න බැරි වුණා. ටයි මහත්තයා අතුල සර්ට කිව්වා ‘මේ කළුබෝවිල කෙල්ලට මේ වැඩේ කරන්න බැහැ යන්න කියහං ‘ කියලා. ඒක ඇහුන විතරයි මම අඬන්න පටන් ගත්තා.මම පොඩි ළමයෙක්නෙ ඒ වෙද්දී. ඔන්න එතකොට තවත් බැන්නා. ඒ අස්සෙ ලෙස්ලි අයියා ඉඳන් කිව්වා ‘ඕවා ගණන් ගන්න එපා.. ඒ එයාගෙ හැටිනෙ’ කියලා. ඒක ඇහිලා ටයි මහත්තයා ආයෙත් බැන්නා. මට මයික් එකෙන් අයින් වෙන්නම කිව්වා. මම ගිහිල්ලා ස්ටුඩියෝ එකේ පැත්තකින් කළුවරේ වාඩි වෙලා හිටියා. අර ප්‍රවීණ අය කිසි කෙනෙක් මට මුකුත් කිව්වේ නෑ. මම දවසම හිටියා. හැන්දෑවෙ පහට විතර ඩබින් ඉවරවෙලා එළියට එනකොට ටයි මහත්තයා හරියටම මගේ ඉස්සරහට අනිත් දොර ඇරගෙන ආවා. බැලුව මූණ දිහා. ‘හෙට උදේ අටට ‘ කිව්වා. මම හිතුවා දැන් හෙටත් ඇවිල්ල මේ දුක විඳින්න එපැයි කියලා..ඒත් එක්කම අනිත් දොර ඇරගෙන ඇවිත් අතුල සර්ත් ‘හෙට උදේ අටට’ කිව්වා .

ඒ විදිහට මම දවස් පහක් විතර ආවා. ආවට මුකුත් කළේ නෑ. ඒ ඉන්නකොට මම බලාගෙන හිටියා මොකක්ද මේ වන්නේ කියලා. ඒ ගත කරපු කාලසීමාව තුළ මට ඒ ගැන සියුම් අධ්‍යනයක් කරන්න ලැබුණා. ඒ තමයි මගෙ ට්‍රේනින් එක. මට වෙන කොහෙන්වත් රංගන පාසලකින් වත් ඒ දේ ලැබුණේ නෑ. ඒ විදිහට තව අයගේ සහයෝගයත් එක්ක ටිකෙන් ටික ඉගෙන ගනිමින් තමයි මම ඔෂින් චරිතය දක්වා එන්නේ .”

ඔෂීන් පමණක් නෙවෙයි අපේ රස මතක අතර තිබෙන තව බොහෝ නිර්මාණයන්ට ඉන් පසු ඇය සිය හඬ ලබා දුන්නා.

හඬකැවීම් ක්ෂේත්‍රයේ ඈ සතු අත්දැකීම් එක් කර ගනිමින් හඬකැවීම් ගුරුවරියක ලෙස ද ඇය අද වන විට ඇගේ කලා දායකත්වය ලබා දෙමින් ඉන්නවා.

වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles