පොලිස්පති පත් කිරීම: එරාන්ගෙනුත් චෝදනා

නව පොලිස්පතිවරයා ව්‍යවස්ථානුකුලව පත් කර නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්ත චෝදනා කරනවා.

එසේම ඔහු පවසන්නේ ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කිරීම් අනුමත කිරීමේදි ව්‍යවස්ථානුකුල ක්‍රමවේදයක් පවතින නමුදු පොලිස්පති පත් කිරීමේදී අනුමත එම ක්‍රමවේදය උල්ලංඝනය කර ඇති බවයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කරන ලද බවත් ව්‍යවස්ථාදායක සභාව වෙත යම් පත්කිරීමක් සඳහා නමක් යෝජනා කළ විට සාමාන්‍යයෙන් පොදු එකඟතාවයක් මත ඒකමතික තීරණයක් අනුව අනුමැතියක් මුලින් අපේක්ෂා කරන බවත් ඔහු පවසනවා.

එකඟත්වයක් නොමැතිනම් ඒ සඳහා වෙනත් නමක් ජනපති විසින් යෝජනා කිරීමෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අනවබෝධය වළක්වා ගත හැකි වන බව පවසන මන්ත්‍රීවරයා එසේත් එකඟත්වයක් නොමැති අවස්ථාවකදී ඡන්ද විමසීමකට යොමු වන බවයි සඳහන් කරන්නේ.

“පොලිස්පතිවරයාගේ පත්වීම අනුමත කිරීමේදී පක්ෂව ඡන්ද 4ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද දෙකක් ලැබුණා. දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටිය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම ආණ්ඩුක්‍රම සභාව විසින් අනුමත නොකළ බව සනාථ කරමින් ඊට පක්ෂව ඡන්ද හතරක් සහ විපක්ෂව ඡන්ද දෙකක් ලැබී තිබුණා. එය සම නොවූ නිසා කතානායකවරයාට තීරණාත්මක ඡන්දයක් නැහැ. මෙම විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ඊ 4 වගන්තියේ සඳහන් වෙනවා.”

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රකාරව වත්මන් පොලිස්පතිගේ පත්කිරීම ව්‍යවස්ථා සභාව විසින් අනුමත නොකරන ලද පත්විමක් බව මෙන්ම එය ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් ද වන බව එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles