තමන්ගේ ම වැටුප් වැඩිකරගත් මහබැංකු නිලධාරීන්ට දෝස්මුර

මහ බැංකු සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සිදුකර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් නොකරමින් බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබු අවස්ථාවේ දී හෙළිව තිබෙනවා.

එසේම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන ලෙසයි කැබිනට් මණ්ඩලය විසින් මහ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

මහ බැංකු සේවකයින්ගේ වැටුප් සියයට 70කින් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකු ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ද අදාළ වැටුප් වැඩිකර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහ බැංකු නිලධාරීන්ගෙන් ඍජුවම ප්‍රශ්න කර ඇති අතර එහිදී මහබැංකු නිලධාරීන් ලබාදුන් පිළිතුරු පිළිබඳව අමාත්‍යවරුන් සිය අප්‍රසාදය පළකර තිබෙනවා.

කෙසේවෙතත් මහ බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ, අදාළ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට ද නියෝග ලබාදීමේ නීතිමය හැකියාවක් නොමැති බැවින් රටේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහබැංකුවේ ප්‍රධානීන් අද පෙරවරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles