මට හදිසියෙ තාත්තෙක් පහළ වෙලා මම දන්නෙත් නෑ : සුරූපී නිළි ගීත්මා බණ්ඩාර

මීට මාස දෙකකට පමණ ඉහතදී ඇගේ එකම සොහොයුරා ඇගෙන් සමු ගන්නවා. ඒ ගැන වේදනාවෙන් තැබූ සටහන් කිහිපයක් ඇගේ ෆේස් බුක් ගිණුමේ දකින්නට ලැබුණු අතර ඒ ගැන බොහෝ දෙනා මේ වෙනකොටත් දන්නවා.

නව පරපුරේ සුරූපී නිළි ගීත්මා බණ්ඩාර එසේ ඇගේ බාල සොහොයුරා ගේ අකල් වියෝවෙන් දුක් වෙමින් සිටින මේ මොහොතේ ඇය සම්බන්ධ තවත් මාතෘකාවක් යටතේ කතාවක් ඇහෙනවා.

ටික දවසකට කලින් ඇය ඇගේ ෆේස් බුක් ගිණුමේ පළ කළ අදහස් දැක්වීමක් තමා ඒ කතාව.

“දන්නවද කෙනෙක් ජනප්‍රිය වෙනකොට මිනිස්සු ආදරේ කරන කොට ගොඩක් දෙනා ඒ වටේ එකතු වෙනවා. ඒ ආදරේ කරපින්න ගෙන තමන්ගෙම කියාගන්නවා. දැන් හැමදාමත් ලස්සනට හිනාවෙලා හිටියට මගේ පුංචි කාලේ මං හිනා වෙලා හිටිය කාලේ හරිම අඩුයි. දැන් මට ආදරේ කරන අය පොදි බැඳගෙන. මං ලස්සනට හිනා වෙන කොට මට මතක් වෙනවා පුංචි කාලෙ මං මුළුගැන්වුණු විදිහ. දවසක පොතකින් ලියන්න හිටියට දවසින් දවස මට මේ එන චෝදනා ඉස්සරහ මට මේ ගැන ලියන්නම හිතුණා.

මම පුංචි කාලෙ ඉඳලා හැදුණේ මගේ අම්මයි, මල්ලියි අම්මගේ නංගි – පුංචි අම්මයි එක්ක. තාත්තා ගැන අන්තිම මතකය මගේ මොන්ටිසෝරි කාලෙටත් වඩා ඈතයි. ඒකත් හරි කටුක මතකයක් මතකයක් එදා ඉඳන් මට කන්න බොන්න දීලා හොඳටම උගන්නලා නොවිදිනා දුක් වින්දෙ මගේ අම්මා. අම්මගේ පවුලෙම සහෝදර සහෝදරියෝ අටක්. අම්මගේ පැත්තේ නෑදෑයෝ වරින් වර සුළු උදව් කළත් අම්මගේ හිතුවක්කාරකමට හදාගත්ත එකී විදිහට ගොඩක් වෙනස්කම් විඳ විඳ ලොකු වුණ මට වරින් වර අම්මගේ වෙනස්කම් පවා විඳින්න වුණා. ඒ මගේ මාමාවරුන්ගේ බලපෑමෙන්. ශිෂ්‍යත්වයෙන් ගමේ අදටත් ඉහළින්ම සමත් වුණු එකම ළමයා වෙච්චි කොට යන්තම් කරදඬු උස්මහත් වෙනකොට ගාර්මන්ට් පලයන් කියනකොට පුංචි අම්මා උසස් අධ්‍යාපනයේ වගකීම අරං ඒ ලෙවල් වෙනකල් හොඳට ඉගැන්නුවා. ඒ විතරක් නෙවෙයි අවුරුදු කුමරියක් වෙලා රංගනයේ අහුමුළු සිසාරා නම රන්දන්නත් පිටිවහලක් වුණා. උසස්පෙළ හදාරමින් රංගනයට පිවිසි මා හට මුල් අවුරුදු කිහිපයම පුංචි, බාප්පා රැකවරණය දෙද්දී මගේ අම්මාත් මල්ලිත් සුපුරුදු පරිදි ගමේ කල්ගත කළා. ඉතිං ඒ තීරණාත්මක කාල සීමාව තුළ මා ආ මග දත් බොහෝ දෙනා එල්ල කළ චෝදනාව අම්මාට මල්ලිට සැලකීම පිළිබඳවයි. කාරණා එසේ පැවතිය දී අද අම්මාත් මල්ලිත් මමත් සතුටින් කල් ගෙවනා’තුර වරින් වර පෙම්වතුන් විවිධ නෑදෑයන් පහළ වෙමින් සිටිති. මීට වසර ගණනකට පෙර මා කොහේදැයි නොදත් නෑදෑයන් මා සොයා එති. මා නොදන්නා නෑකම් පවසති .

ඒ අතරින් හාස්‍යයට කරුණ නම් පසුගිය දිනක මා ලද දුරකතන ඇමතුමයි. එයින් මගේම ක්ෂේත්‍රයේ අයෙකු මා ඇමතූ අතර ඔහුගේ වචන වචනවලින් ‘නංගි ඔයාගේ තාත්තා පොලිසියෙන් අල්ලන් ගිහින්. **** හේතුවට. එයා අපි ගාව වැඩ කළා. මෙච්චර කල් ඔයාට ලැජ්ජාවක් නිසා අපි කිව්වේ නෑ .’

එක්වරම පහළ වූ තාත්තෙකු නිසා මා විලම්භීත වූ අතර පොලිසිය ඇමතීමෙන් අනතුරුව පහත පුද්ගලයා අත්අඩංගුවේ පසුවන බව දැනුවත් වීමි. මීට පෙරද එසේ තාත්තා කියාගන්නා පුද්ගලයෙක් පිළිබඳ ක්ෂේත්‍රයේ ළඟම හිතවතුන් මා දැනුවත් කළ ද ඒ තරම් ගණනකට නොගත්තේ එය හාස්‍යයට කරුණක් බැවිනි. කෙසේ හෝ තවත් අයෙකුගේ බඩවියත රැකෙන බැවිනි .

ඉදින් තවදුරටත් ඔහු හා සොයා බැලීමේදී ඔහු සක්‍රීයව ක්ෂේත්‍රයේ දායක වන බවත් සියලුම ටෙලි නාට්‍ය /සිනමාපට පසුබිම්වල මා ඔහුගේ දුව බවට ප්‍රචාරය කරන බවත් දැනුවත් වීමි. ඔහු සම්බන්ධ කරගැනීමට වරින්වර උත්සාහ කළත් ඔහු සම්බන්ධ පොලිස් වාර්තා හමුවේ ඔහු හා සම්බන්ධ වීම අත්හැර දැමීමි. වසර විසි ගණනකට පසු තාත්තෙක් පහළ වී ඇත. ඔහු කවුරුන්දැයි මා හෝ මගේ මව හෝ අප කිසිවෙක් හඳුනන්නේ නැත. සමාජ මාධ්‍යයන්හි මගේ පවුලේ අයගේ ඡායාරූප අවභාවිතා කරමින් පුවත්පත් මාධ්‍ය ඉදිරියේ මා පෙර පවසා ඇති කරුණු හුවා දක්වමින් හුදෙක් බඩවියත වෙනුවෙන් සංවේදී මනුෂ්‍ය කාරණා පාවා දෙමින් අකුල් හෙළීම හා අපහාස කිරීම තරයේ හෙළා දකිමි.

අග නම සම වූ පරිද්දෙන් තාත්තෙක් විය නොහැක. පාරමිතාවන් කෙළවර අපමණ කැපවීමෙන් දහඩිය මහන්සිය දරා දරුවන් බැබළෙනු දැක සතුටු විය හැක්කේ සැබෑ පියෙකුට පමණි .. “

මේ තිබෙන්නේ ගීත්මා එසේ ලියා තිබූ සංවේදී අකුරු පේළි කිහිපයයි.

මිනිස් සබඳතා යනු ඉතා සංකීර්ණ එකකි.එයට නිශ්චිත විග්‍රහයක් නැත. එයින් මාපිය දූදරු සබඳතා යන අනු මාතෘකාවේ දී අප ගොලුව ම යන්නේ එය එතරම් ම සියුම් හැඟීමක් බැවිනි.

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles