ආසිරි රෝහල් නඩුව: වැ.බ. විනිසුරුවරිය වෘත්තීය විෂමාචාරයක් කළේ දැ යි සොයන්න ඉල්ලයි

අප දිගින් දිගටම වාර්තා කළ සිදුවීමක් වූයේ මෙරට නීති ක්ෂේත්‍රයේ වැදගත් පරාමිතීන් සම්බන්ධයෙන් මහජන අවධානයක් නිර්මාණය වූ ආසිරි රෝහල විසින් වැඩි මිලට ඖෂධ අලෙවි කිරීම පිළිබඳ නඩුකරය යි.

එම නඩුවේදී අතිශය පුදුමඑළවනසුළු සිදුවීම් ගණනාවක් සිදු වුණා. නඩුකරයේ මුළු කාලය පුරා ම එම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය වන විශාල් බාලි, අශෝක කාරියවසම් පතිරගේ, අන්කුර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න කරුණාරත්න, සුදර්ශන් අහංගම, ගාර්දියර් ලොකුගේ හැරීස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න යන කිසිවෙක් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැති වීම ඉන් එකක්. උත්තරීතර අධිකරණය හමුවේ සැකකරුවෙක් ලෙසින් පෙනී සිටිනවාට වඩා තම සන්නාම රැක ගැනීමට ඔවුන් දරණ වෑයමක් ලෙසින් එය පෙනී යෑම පුදුමයට කරුණක් නොවේ.

ඉන් අනතුරුව සිදු වූයේ මෙම නඩුකරය දිගින් දිගටම අසනු ලැබූ මාළිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම රාජකාරි නිවාඩු ගිය දිනයක වැඩබලන මහේස්ත්‍රාත්වරියකට මෝෂමක් මාර්ගයෙන් නඩුව කැඳවා වරද පිළිගෙන නඩුව අවසන් කර ගැනීමයි. එහිද ඇති විසුළුසහගත ම කරුණ නම් අගතියට පත් පාර්ශ්වයේ කිසිවෙකු නොමැති ව මෙම නඩු කටයුත්ත සිදු වීමයි.

අනෙක් අතට පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැවසූ පරිදි මෙහි දඩ ලෙස නියම කර තිබෙන්නේ වරදෙහි ස්වභාවය අනුව ඉතා සුළු මුදලක් වීමත්, මෙම වරදට අදාළ දඬුවමෙහි සඳහන් වන ත්‍රෛභාෂා පුවත්පත්වල අදාළ සමාව ඉල්ලීමේ දැන්වීම පළ නොවීමත් කතා බහට ලක් වුණා.

ඉන් අනතුරුව නඩුවාරයකදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැහැදිලිව කියා සිටියේ, උක්ත තීන්දුව දෝෂසහගත බව බැලූ බැල්මට පෙනී යන බවයි. පෙනී ගිය පරිදි නඩුව නැවතත් ඉදිරියට පවත්වාගෙන යනු ලැබුවා.

ඉන් අනතුරුව වරද භාරගෙන දඩ මුදල් ගෙවූ ආසිරි රෝහල විසින් අභියාචනාධිකරණය වෙත ගොස් තිබුණේ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරියද වගඋත්තරකාරියක් කර රිට් පෙත්සමක් ඉදිරිපත් කරමින්.

මේ වන මේ සිදුවීමේ අලුත්ම තත්වය නම්, මෙම වැඩි මිලට ඖෂධ ලබා ගැනීමේ නඩුකරයේ වින්දිතයා වන සනත් අතුකෝරල විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිල්ලක් කිරීමයි.

එහිදී ඔහු කියා සිටින්නේ අගතියට පත් කිසිදු පාර්ශ්වයක් නොමැතිව වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් තීන්දු දී අවසන් කළ නඩුව සම්පූර්ණයෙන් දෝෂසහගත බවයි. ජනවාරි 23 ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවීමට තිබූ නඩුව ඇය නිවාඩු ගෙන සිටි දින කීපයේදී විත්තිකරුවන්ට වාසියක් ගත හැකි අයුරින් ඉතා සූක්ෂම ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවා තීන්දුවක් දී ඇති බව එහි සඳහන් වෙනවා.

කල් යල් බලා ඉතාමත් සැලසුම්සහගතව, නීතියට පටහැණිව, අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කර ඇතැයිද උක්ත පැමිණිල්ලේ සඳහන් වෙනවා.

කෙසේ වෙතත් ආසිරි රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහේස්ත්‍රාත්වරිය ද වගඋත්තරකාරියක් කරමින් රිට් පෙත්සමක් ගොනු කළ අතර එය අභියාචනාධිකරණය ඉදිරියේ ලබන 12 වැනිදා කැඳවීමට නියමිත වෙනවා.

මහජන වැදගත්කමක් ඇති මෙම නඩුකරය සම්බන්ධයෙන් Lankaline අප ඉතා විමර්ශනශීලීව නිරන්තරයෙන් කරුණු වාර්තා කරමින් අවදියෙන් සිටින බව අප පාඨකයන් වෙත කියා සිටින්නේ එය අප සතු වගකීමක් ලෙස සලකමින්.

මේ සම්බන්ධ පෙර ලිපි පහතින්,

මුදල් වංචා කළ ආසිරි රෝහල් අධ්‍යක්ෂවරු උසාවි නොඑති : විනිසුරුවරියත් වගඋත්තරකාරියක් කර නඩුව අභියාචනාධිකරණයට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles