ලංගම පාඩු කොන්දොස්තරලා හොරාකන නිසා : සභාපති

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම් අඩුවීමට ප්‍රධානම හේතුව කොන්දොස්තරවරුන් සොරකම් කිරීම බව ලංකා ගමනා මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පවසනවා.

කොන්දොස්තරවරුන් මඟීන්ගෙන් මුදල් අයකර ගෙන ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම වැඩි වශයෙන් සිදුවන බව කරන ලද විමර්ශනවල දී තහවුරු වී ඇති බවයි සභාපතිවරයා පවසන්නේ.

මණ්ඩලය විසින් ජංගම පරීක්ෂකවරුන් යොදවා වැටලීම් කරන දිනවල දී ලංගම ආදායම රුපියල් ලක්ෂ ගණනින් වැඩි වන බවත් අනෙක් දිනවලදී ආදායම ලක්ෂ ගණනින් පහත වැටෙන බවත් කී සභාපතිවරයා ලංගම ආදායම් අහිමි වීමට ප්‍රධානම හේතුව කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපය බවට එමඟින්ම තහවුරු වී තිබෙන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

මේ අනුව සියලුම පළාත් ප්‍රාදේශීක කළමනාකරුවන්ටත්, ඩිපෝ අධිකාරීවරුන් හා ඩිපෝ කළමනාකරුවන්ටත් ජංගම පරීක්ෂා කිරීම් වැඩි වශයෙන් සිදුකර ලංගම ආදායම් ඉහළ දැමීමට මෙන්ම වංචා කරන කොන්දොස්තරවරුන් හසුකර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් දී තිබෙන බවද සභාපතිවරයා පැවසුවා.

මේ අතර ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස්රථවල ගමන් කරන පුද්ගලයන් සඳහා දැනට ක්‍රියාත්මක රුපියල් දෙසීය පනහක දඩය රුපියල් තුන්දහසක් දක්වා වැඩි කරන බවත්, ඒ අනුව ඉදිරියේ දී හසුවන පුද්ගලයන්ට රුපියල් තුන්දහසක දඩ මුදලක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් ගෙවීමට සිදුවන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

1 COMMENT

  1. සභාපතියා ඔතැනට එන්න කොච්චර කුපාඩි වැඩ කරන්න ඇතිද,කොන්දොස්තර කෙනෙක් දාහක් හොරකම් කරනකොට ලොකු ලොකු එවුන් කෝටි ගාණක් හොරකම් කරන එක කතාකරන්නැත්තේ මොකද..
    අනේ බෞකාන් සභෝ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles